පාකිස්තානයේ සංචාරය කිරීම ගැන තවම තීරණයක් නෑ - ශ්‍රී ලංකා ක්‍රිකට්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 26 සිකුරාදා - 14:37 GMT
Upali Dharmadasa

'අපි පාකිස්තානයටත් උදවු කළ යුතුයි නමුත් මොන වාහනයක් ගෙනාවත් අපිට ඒ ගැන හොඳින් හිතා බලා තීරණයකට එළඹෙන්න වේවි'

ශ්‍රී ලංකා කණ්ඩායම යලිත් වරක් පාකිස්තානයේ තීරණය කළ යුතුද නැද්ද යන්න පිළිබඳව හොඳින් කරුණු විමසා බලා තීරණයක් ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එහි සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ සිය රටේ සංචාරය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් පොලඹවා ගැනීමේ අටියෙන් ඔවුන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ වෙඩි නොවදින රථ මිලදී ගන්නා බව පාකිස්තාන බලධාරීන් කළ නිවේදනය පිළිබඳව ඔහුගේ මතය විමසූ අවස්ථාවේ.

"මම හිතන්නේ අපි ඒ ගැන දීර්ඝ සාකච්ඡාවක් කළ යුතුයි මොකද ඔය කියන තත්ත්වයට මූලික වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම නිසා. ඉතින් කොච්චර මනස හදන චිකිත්සකයෝ ආවත් ඔවුන්ට වුන දේ හොඳටම මතකයේ ඇති," යන්නයි ඒ ප්‍රශ්නයට සභාපතිවරයා ගේ ප්‍රතිචාරය වූයේ.

කණ්ඩායමට මනෝ චිකිත්සකයෙක්

"අපි පාකිස්තානයටත් උදවු කළ යුතුයි නමුත් මොන වාහනයක් ගෙනාවත් අපිට ඒ ගැන හොඳින් හිතා බලා තීරණයකට එළඹෙන්න වේවි," ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තීරණාත්මක තරඟවලදී පරාජය වීම හමුවේ කණ්ඩායමට මනෝ චිකිත්සකයෙක් පත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා විධායක මණ්ඩල කමිටුවේදී තීන්දුවකට එළැඹීමට නොහැකි වූ බවද උපාලි ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියේය.

පිට පිටම සිවු වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මහා තරඟවලදී පරාජය වීම ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය පිලිබඳ දර්ශකයක් විය හැකි බැවින් කණ්ඩායමට මනෝ චිකිත්සකයකු බඳවා ගැනීම පිළිබඳව සලකා බැලිය යුතු බව තේරීම් කමිටු සභාපති අසන්ත ද සිල්වා ඇතුළු කිහිපදෙනෙකුගේම මතය වී තිබුණි.

රහසිගත හඬ පටය

ඒ පිළිබඳව යලිත් වරක් ලබන සතියේ රැස්වී සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට නියමිත බවයි, සභාපතිවරයා පවසන්නේ.

එමෙන්ම එස්එල්පීඑල් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගයේ තරඟ වුවමනාවෙන්ම පැරදීම සඳහා අල්ලස් ලබාගැනීමේ උත්සාහයක් ලෙසින් සැලකෙන සිදුවීම පිලිබඳ රහසිගත හඬ පටය පිලිබඳ පරීක්ෂණ වාර්තාවක් අයිසීසී ජගත් පාලක මණ්ඩලයට භාර නොදුන් බවද ඔහු පිළිගත්තේය.

ඒ පිලිබඳ පරීක්ෂණ වාර්තාව අයිසීසී යට භාරදුන් බව සභාපතිවරයා පසුගිය සතියේ සංදේශයට පැවසූ නමුත්, ජගත් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කොලින් ගිබ්සන් සංදේශයට පැවසුවේ ඒ සම්බන්ධ පරීක්ෂණ තවමත් පැවැත්වෙන බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.