රහසිගත හඬ පටය පිලිබඳ පරීක්ෂණ අවසන් - ශ්‍රී ලංකා ක්‍රිකට්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 19 සිකුරාදා - 10:39 GMT
SLPL

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සාහයක් ලෙස සැලකෙන රහසිගත සංවාදයක් පටිගත කෙරුණු හඬ පටයක් ඩේලි මිරර් පත්‍රයට ලැබී තිබුණි

පසුගිය අගෝස්තු මාසයේ නිමාව දුටු ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සාහයක් ලෙස සැලකෙන රහසිගත සංවාදයක් පටිගත කෙරුණු හඬ පටය පිලිබඳ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට යොමු කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

"ඒ ගැන පරීක්ෂණය කරලා අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටත් අපි ඒ ගැන දන්වල තිබෙන," බවයි, ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියේ.

එම පරීක්ෂණයේ නිගමනය ප්‍රකාශයට පත් කිරීම හෝ නොකිරීම අයිසීසීය සතු වගකීමක් බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් මේ පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පැවසුවේ අදාළ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි.

ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිණීම

ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමන කරන අයිසීසීය, එවැනි චෝදනා පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන මෙන් තමන් සාමාජික රටවලට දැනුම් දී ඇති බවද ඔහු පැවසීය.

ලොකු භාග්‍යයක්

"ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු භාග්‍යයක් පලවෙනි වතාවට ශ්‍රී ලංකාවට සියයට සීයක් තරඟ පැවැත්වීමට ලංකාවට භාර දුන්නා"

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස

ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක සියලු තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජගත් පාලක මණ්ඩලය තීන්දු කිරීම ශ්‍රී ලංකාව ලැබූ භාග්‍යයක් බව පවසන සභාපති උපාලි ධර්මදාස, අයිසීසීය සමඟ එක්ව එම ශූරතාවලිය සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවද සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් ප්‍රවේශ පත්‍ර සඳහා 60,000 ක පමණ ඉල්ලුමක් තිබූ මොහොතක 35,000 ක් ආසන තිබූ ක්‍රීඩාංගනවල ඒ සියලු දෙනා සඳහා ආසන පැනවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ඔහු පැවසීය.

එවැනි අවස්ථාවක ප්‍රවේශපත්‍ර වැඩි මිලට ලෙවි කරන්නේ නම් තමන්ට එය පාලනය කළ නොහැකි බව පවසන සභාපතිවරයා, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ප්‍රවේශ පත්‍ර වැඩි මිලට අලෙවි කිරීමට උත්සාහ කළ ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ නිලධාරියෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බවද සඳහන් කළේය.

"ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තෙන් එකම එක චෝදනාවයි ආවේ - ටෝනි ජයවර්ධන කියල ඛේත්තාරාමේ වැඩකරන පුද්ගලයෙක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකුණන්නට යෙදුන යම්කිසි ටිකට් තොගයක් විකුණල ඔහුට පොලීසියේ එන්ට්‍රියක් දාල, ඒ මගින් කටයුතු කිරීමටත් දැනට අපි ඔහුගේ වැඩ තහනම් කරලා තියෙනව විනය පරීක්ෂණය ඉවර වෙනකම්," සභාපතිවරයා පැවසීය.

හම්බන්තොට ඇතුළු සියලුම පළාත්වල ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර විකිණීම සඳහා තමන් සියලු පියවර ගත් බවයි, ඔහු පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.