කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයට සමාන පහසුකම් අවශ්‍ය නෑ - අයිසීසීය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 14 ඉරිදා - 13:27 GMT
Women's cricket T20 WC (file photo)

ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන් පුරුෂයන්ට පමණක් විශේෂ සැලකිලි නොදක්වා කාන්තාවන්ටත් සමානව සලකන්නේ නම් වඩා යෝග්‍ය බව ක්‍රීඩිකාවෝ පවසති

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක දී පුරුෂ කණ්ඩායම්වලට සහ කාන්තා කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවයක් නැති බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

අයිසීසීයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් ඒ බව ප්‍රකාශ කළේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පුරුෂ කණ්ඩායම්වලට සහ කානතා කණ්ඩායම්වලට වෙනස් පහසුකම් ලබාදීම පිළිබඳව බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

"(උදාහරණයක් විදියට) වයස අවුරුදු 19 න් පහල තරඟාවලියක දී ක්‍රීඩකයන්ට ලබාදෙන පන්තියේ නෙවෙයි ප්‍රධාන ලෝක ශූරතාවලියක දී ක්‍රීඩකයෝ ගමන් කරන්නේ. ඒ නිසා කාන්තාවන්ට සමාන පන්තිවල ගමන් පහසුකම් ලබාදීම ඇතුළු සමාන තත්ත්වයෙන් සැලකිය යුතුයි කියන ප්‍රතිපත්තියට මම එකඟවෙන්නේ නෑ," ඔහු පැවසීය.

ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන් පුරුෂයන්ට පමණක් විශේෂ සැලකිලි නොදක්වා කාන්තාවන්ටත් සමානව සලකන්නේ නම් වඩා යෝග්‍ය බව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස් (Mignon Du Preez ) ශ්‍රී ලංකාව සමඟ පැවති සමාරම්භක තරඟයෙන් අනතුරුව ගාල්ලේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය.

පුරුෂයන්ට විශේෂ සැලකිලි

ඇය ඒ අදහස පළ කළේ අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩිකාවන්ට සහ පුරුෂයන්ට සපයන පහසුකම් පිළිබඳව එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් පළකොට තිබූ අදහස් පිළිබඳව බීබීසී සංදේශය ඇගේ මතය විමසූ අවස්ථාවේදී.

David Richardson (L) with IIC president and outgoing CEO Haroon lorgat (file photo)

'කාන්තාවන්ට සමාන තත්ත්වයෙන් සැලකිය යුතුයි කියන ප්‍රතිපත්තියට මම එකඟවෙන්නේ නෑ'

විශේෂයෙන්ම ක්‍රීඩකයෙකුගේ දිනෙක වියදම් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 61 ක් වෙන්කරන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රීඩිකාවන් සඳහා ලබා දෙන්නේ පවුම් 37 ක මුදලක් පමණ බව බීබීසී ක්‍රීඩා වෙබ් අඩවිය පෙන්වා දී තිබිණ.

එමෙන්ම ක්‍රීඩකයන්ට ව්‍යාපාරික පන්තියේ ආසනවල ශ්‍රී ලංකාවට ලඟා වෙද්දී ක්‍රීඩිකාවන්ට සාමාන්‍ය පන්තියේ ආසන වෙනකොට තිබූ බව බීබීසීයේ ඇලිසන් මිචල් වාර්තා කළාය.

මේ තත්ත්වය ඉතා ඉක්මනින්ම වෙනස් කිරීමට අයිසීසීය ක්‍රියාකරනු ඇතැයි යන්න තම බලාපොරොත්තුව බව එංගලන්ත කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් බීබීසී ක්‍රීඩා වෙබ් අඩවියට පවසා තිබිණ.එමෙන්ම තරඟ ජයග්‍රාහකයන්ට පිදෙන ත්‍යාග මුදල් අතරද විශාල වෙනසක් තිබේ.

එහෙත් එංගලන්ත කණ්ඩායමේ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායිකාව තමන්ට ලැබුන පහසුකම් පිළිබඳව පැමිණිලි කොට නැති බව පවසන ජගත් පාලක මණ්ඩලය, සැබවින්ම සිදුවූයේ ලෝක කුසලානයද පුරුෂ කුසලානය හා සමාන්තරව පැවැත්වීම සම්බන්ධයෙන් එම නායිකාවන් ප්‍රසාදය පළ කිරීම බවද පවසයි.

"තමන්ට ලැබුන පහසුකම් ගැන කාන්තා කණ්ඩායම්වල නොසතුටක් තිබුන කියල කියන්න හදන එක සම්පූර්ණයෙන්ම වැරදියි," බව පවසන අයිසීසී ප්‍රධාන විධායක නිලධාරියා තවදුරටත් අදහස් දක්වමින්: "මේ තරඟාවලි වලදී වෙන වෙනමයි අය වැය සකස් කරන්නේ. නමුත් කාට හරි මේ ගැන විවේචනයක් හරි චෝදනාවක් හරි තියෙනවනම් ඒ ගැන පැමිණිලි කිරීමේ ක්‍රියාදාමයක් තියෙනවා," යනුවෙන් ද සඳහන් කළේය.

ප්‍රවේශපත් වැඩි මුදලට විකිණීම

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද විස්සයි විස්ස ලෝක කුසලානයේදී ප්‍රවේශපත් වැඩි මුදලට විකිණීම හා සම්බන්ධ බවට එල්ලවන චෝදනා තමන්ටද අසන්නට ලැබුන බව පවසන ඩේවිඩ් රිචඩ්සන් එම චෝදනා පිළිබඳව විමසා බලා අවශ්‍ය නම් පරීක්ෂණයක් පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බවද සඳහන් කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව අයිසීසීය සාර්ථක විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වූ බව තමා විශ්වාස කරන්නේ යයිද ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා බීබීසී සංදේශයට කියා සිටියේය.

"ආදායම් පිලිබඳ සහ ප්‍රේක්ෂකයන් පිලිබඳ දත්ත අපි තවමත් එකතු කරමින් ඉන්නේ. ඒ දත්ත ලැබුනාම වාර්තාවක් සකස් කෙරේවි. නමුත් මේක ඉතා සාර්ථක උළෙලක් කියන එක තමයි අපේ මූලික නිගමණය," ඔහු පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.