'දුන් අනුග්‍රහය ලෝක ශූරතාවලිය දක්වා දීර්ඝ කරන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 17 අඟහරුවාදා - 14:32 GMT
Anuradha Cooray

'මම ඉල්ලුවේ මට පුලුවන්නම් ලෝක ශූරතාවලිය වෙනකම් උදවු කරන්න කියල මට ටිකක් අඩුවෙන් රස්සාව කරලා වැඩිපුර පුහුණු වෙන්න පුළුවන්'

එළඹෙන ඔලිම්පික් උළෙල වෙනුවෙන් පුහුණුවීමේ කටයුතු සඳහා තම ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මාස දෙකක කාලයක වියදම් අනුමත කොට තිබෙන බව මැරතන් ක්‍රීඩක අනුරාධ කුරේ පවසයි.

ලබන වසරේ රුසියාවේ මොස්කවු නුවර පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය දක්වාත් එම අනුග්‍රහය දීර්ඝ කරන මෙන් ඔහු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් ඉල්ලීමක් කරයි.

"මම ඉල්ලීම නම් කළේ මට පුලුවන්නම් ලෝක ශූරතාවලිය වෙනකම් උදවු කරන්න කියල ටිකක් අඩුවෙන් වුනත් කමක් නෑ මට ටිකක් අඩුවෙන් රස්සාව කරලා වැඩිපුර පුහුණුවෙන්න පුළුවන්," අනුරාධ කුරේ බීබීසී සංදේශයට පැවසීය.

පසුගිය සතියේ සංදේශය සමග අදහස් දැක්වූ මැරතන් ධාවකයා කියා සිටියේ, එංගලන්තයේදී තම පුහුණුව සඳහා උපකාර කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ද දුන් පොරොන්දු තවමත් ඉටුවී නැති බවයි.

සුසන්තිකා ජයසිංහ

මලල ක්‍රීඩා අංශයෙන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා වුවත් තමන්ට බලධාරීන්ගෙන් ලැබුණු සැලකිල්ල පිළිබඳව කනගාටු වන බවයි, පසුගිය සතියේ ඔහු සඳහන් කළේ.

කෙසේ වුවත් ඔලිම්පික් උළෙලට සති දෙකක් පමණක් තිබියදී අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ මෙවැනි අනුග්‍රහයක් ලබාදීම නිසා අවසන් මොහොතේ හෝ තම අවශ්‍යතා ඉටුකරගැනීමට හැකිවනු ඇති බවයි, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ටතම ක්‍රීඩකයා පවසන්නේ.

අනුග්‍රහය පිලිබඳ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් පළවුවත්, කණ්ඩායමේ නායකත්වයට වඩාත්ම සුදුස්සා තමා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් ප්‍රතිචාරයක් පලකොට නැති බවද අනුරාධ කුරේ පවසයි.

නායකත්වය තමන්ට ලබා නොදීම සම්පූර්ණ "වැරදි ක්‍රියාවක්" බව පැවසූ මලල ක්‍රීඩා සම්මේලනයේ උප සභාපති සුසන්තිකා ජයසිංහ ඒ ගැන සොයා බැලීමට පොරොන්දු වූ බවත් ඔහු බීබීසී සංදේශයට වැඩිදුරටත් කියා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.