ඔලිම්පික් නායකත්වයට සුදුස්සා මමයි - අනුරාධ කුරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 13 සිකුරාදා - 14:54 GMT
Anuradha Cooray (R) at a marathon in UK

'මම සතියකට පැය තිස් අටක් වැඩ කරනවා. ඒ වැඩ කරලා ගෙදරට දුවලා පුහුණුවෙන එක තමා මගේ දැන් එකම පුහුණුවීම'

ජාත්‍යන්තර තලයේ විශේෂ දස්කම් දක්වා නැති ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ට ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය පිරිනැමීම පිළිබඳව තමන් කණගාටුවන බව මැරතන් ඉසව්වුවෙන් ඔලිම්පික් උළෙලට තරඟ වදින අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පවසයි.

පිහිනුම් ඉසව්වුවෙන් රෙශිකා උඩුගම්පොල හා හේෂාන් උනම්බුවත්, වෙඩි තැබීමේ ඉසවුවෙන් මංගල සමරකෝන් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් තිලිනි ජයසිංහ ඇතුළු සය පුද්ගල ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට නිලූක කරුණාරත්න පත්කරන බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

එහෙත් ලන්ඩන් මැරතන් තරගයේදී ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ අනුරාධ කුරේ බීබීසී සංදේශයට කියා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට කලින් ඔලිම්පික් තරඟාවලියක්ද නියෝජනය කළ, දකුණු ආසියානු රන් පදක්කකමක්ද දිනා සිටින තමා, ඒ සඳහා වඩා සුදුස්සා බවයි.

"මගේ ඇත්තටම අමනාපයක් නෑ එයත් එක්ක නමුත් නිලූකට නායකත්වය දීපු එක ගැන මම එච්චර සන්තෝෂ වෙන්නේ නෑ. නායකත්වයක් දෙන්න ඕන රටට දෙයක් වැඩිපුර කරපු කෙනෙකුට," අනුරාධ කුරේ බීබීසී සංදේශයට පැවසීය.

'ආණ්ඩුවෙන් අනුග්‍රහයක් නෑ'

ඔලිම්පික් උළෙලට පුහුණුවීම සඳහා තමන්ට ආධාර කරන මෙන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයෙන් කළ ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව පවසන මැරතන් ධාවක කුරේ, මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා වීත් තමාගේ ඉල්ලීමට පලවූ ප්‍රතිචාරය ගැන දැඩි කනස්සල්ල පළ කරයි.

ජනාධිපති නියෝගය

"මම හිතනවා ජනාධිපති තුමා හරියට දැනුවත් වෙලා නෑ කියල මොකක්ද මම රට වෙනුවෙන් කරන්නේ හදන්නේ කියල"

මැරතන් ධාවක අනුරාධ කුරේ

"මම සතියකට පැය තිස් අටක් වැඩ කරනවා. ඒ වැඩ කරලා ගෙදරට දුවලා පුහුණුවෙන එක තමා මගේ දැන් එකම පුහුණුවීම," ඔහු පවසයි.

තම පුහුණුවීම සඳහා ආධාර කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කළ බව ලන්ඩනයේ මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් තමන්ට දැනුම් දුන්නත් භෝජන සංග්‍රහයක් හැරෙන්නට පුහුණුවීම් සඳහා මේ වන තෙක් කිසිදු ආධාරයක් නොලැබුන බවද ඔලිම්පික් ධාවකයා චෝදනා කරයි.

"මම හිතනවා ජනාධිපති තුමා හරියට දැනුවත් වෙලා නෑ කියල මොකක්ද මම රට වෙනුවෙන් කරන්නේ හදන්නේ කියල," අනුරාධ කුරේ වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භවීමට සති දෙකක් තිබියදී, බීබීසීය විසින් සිදුකරන ලද මහජන මත විමසුමකින් පෙන්නුම් කෙරෙන්නේ, එම ක්‍රීඩා උළෙල මගින් අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් බහුතර ජනතාව අතර අශුභවාදී ආකල්පයක් පවතින බවයි.

මහජන මත විමසුමට සහභාගී කරගනු ලැබුන දෙදහසක් දෙනාගෙන් තුනෙන් දෙකකටත් වැඩි පිරිසක් කියා සිටින්නේ, ඔලිම්පික් ක්‍රීඩා උළෙල රටේ ජනතාව නොව මහා වෙළෙඳ ව්‍යාපාරයක් ප්‍රධාන ඉලක්කය කර ගත් එකක් වන බව තම මතය බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.