
'ඉතින් රටේ ජනාධිපති තුමාගේ පුත්තුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ'
ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබාදෙන ලද සීඑස්එන් (CSN) නාලිකාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් වූවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත්තේය.
කෙසේ වුවද ඉදිරි වසර තුන සඳහා එම නාලිකාවට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදුන්නේ එය ජනපති පුතුන්ගේ නාලිකාවක් නිසා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශය ට පැවසීය.
"ඉතින් රටේ ජනාධිපති තුමාගේ පුත්තුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ?," ඔහු ප්‍රශ්න කළේය.
අදාළ ගනුදෙනුවේ දී තමන්ට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවත්, එහිදී සියල්ල ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුවූ බවත් අවධාරණය කරන සභාපතිවරයා, වසර තුනක් සඳහා සීඑස්එන් නාලිකාව මුලින් ඉදිරිපත් කළ මුදලට වඩා මුදලක් දෙපාර්ශවය අතර සාකච්ඡාවෙන් අනතුරුව එකඟවූ බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක පදවියද හොබවයි
"මේ අවස්ථාවේ කිසිම දෙයක් නීතියට පටහැනිව කරලා නැති," බවද උපාලි ධර්මදාස සභාපති වරයා බීබීසී සංදේශය ට පැවසීය.
මේ පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ, සීඑස්එන් නාලිකාවට රුපියල් මිලියන 125 කට විකාශන අයිතිය විකිණීම මගින් ශ්‍රී ලංකා රාජ්‍යයට රුපියල් මිලියන 3000 ක පමණ ආදායමක් අහිමි වී ඇති බවයි.
නමුත් එය ප්‍රතික්ෂේප කරන උපාලි ධර්මදාස සභාපති වරයා සඳහන් කරන්නේ, ඉදිරි වසර තුන ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ ජාත්‍යන්තර කණ්ඩායම් සීමිත ප්‍රමාණයක් බැවින් තමන්ට කිසිසේත්ම එවැනි ආදායමක් ලැබීමේ හැකියාවක් නොතිබුණු බව.
විකාශන අයිතිය සීඑස්එන් නාලිකාවට පැවරුවේ 'නීත්‍යානුකූලව'
සීඑස්එන් නාලිකාවට ක්‍රිකට් විකාශන අයිතිය පැවරීම සඳහා කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට පැවසීය.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
නිශාන්ත රණතුංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් පදවිය සඳහා තරග කිරීමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය පළවී තිබෙන බැවින්, ඔහු සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක පදවියද දැරීම මගින් බැඳීම් අතර ගැටුමක් (Conflict of interest) හටගෙන තිබෙන බවට එල්ලවන චෝදනාවද සභාපතිවරයා ප්‍රතික්ෂේප කරයි.








