අර්ජුන ඉවත් කරන්න 'ඉන්දියාව බල කළේ නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අප්‍රේල් 30 සඳුදා - 12:29 GMT
ඉන්දීය ප්‍රීමියර් ලීගය

ඉන්දීය ප්‍රීමියර් ලීගය ඇතුළු විස්සයි විස්ස ක්‍රිකට් තරඟ අර්ජුන රණතුංගගේ විවේචනයට ලක්විය

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉවත්කරන මෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිසිදු බලපෑමක් එල්ලනොවූ බව හිටපු ක්‍රීඩා ඇමතිවරයා පවසයි.

2008 ජනවාරි මාසයේදී අර්ජුන රණතුංග ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට පත්කළ එවක ක්‍රීඩා ඇමතිවරයා වූ ගාමිණී ලොකුගේ, ඉන් අනතුරුව එම වසරේම දෙසැම්බරයේදී ඔහු පදවියෙන් ඉවත් කළේය.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීගය ඇතුළු විස්සයි විස්ස ක්‍රිකට් තරඟ දැඩි විවේචනයට ලක්කළ අර්ජුන රණතුංගගේ ක්‍රියාකලාපය ගැන උරණවූ ඉන්දීය පාලක මණ්ඩලය, ඔහු ඉවත්කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කළ බවට තමන්ට සාක්ෂි ඇතැයි පසුගිය සෙනසුරාදා අයිලන්ඩ් පුවත්පත වාර්තා කළේය.

නමුත් අමාත්‍ය ලොකුගේ බීබීසී සංදේශයට කියා සිටියේ තමන් එම වාර්තාවේ අඩංගු කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

"ඉන්දියාවේ පමණක් නොවෙයි, ලෝකය පුරාම ක්‍රිකට් පාලක මණ්ඩල එක්ක අපි සහයෝගයෙන් කටයුතු කළා. නමුත් ඉන්දියාවෙන් අපට කිසිම බලපෑමක් ආවේ නෑ," ඔහු පැවසීය.

"ඉන්දියාවෙන් අපිට එහෙම කිසිම බලපෑමක් ආවේ නෑ"

ගාමිණී ලොකුගේ, හිටපු ක්‍රීඩා ඇමති

සිම්බාබ්වේ කණ්ඩායමේ එංගලන්ත සංචාරයක් අවලංගු කරනු ලැබීමෙන් අනතුරුව, පාලක මණ්ඩලයෙන්ද නොවිමසා අර්ජුන රණතුංග විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හදිසි එංගලන්ත සංචාරයක් සංවිධානය කරන ලද බවත්, එය ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේ කාලසටහන සමඟ ගැටුණු බැවින් ක්‍රීඩකයන් එයට විරෝධය පලකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී එංගලන්ත සංචාරයේ කාලසටහන වෙනස් කරන මෙන් තමන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියත් ඔහු එයට එකඟත්වය පළ නොකළ නිසා, අර්බුදය පිළිබඳව ක්‍රීඩකයන් ජනාධිපතිවරයාද දැනුවත් කිරීමෙන් අනතුරුව ඉන්දීය ලීගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවසර දෙන මෙන් අර්ජුන රණතුංගට නියෝග කිරීමට තමන්ට සිදුවූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

"නමුත් ඔහු සභාපති පදවියෙන් ඉවත් කිරීමයි, ඒ සිදුවීමයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ," ඔහු පැවසීය.

කෙසේවුවද, අයිලන්ඩ් පුවත්පත වාර්තාකොට තිබූ ආකාරයේ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ඉන්දීය ලීගයේ ප්‍රධානීන් අතර 2008 ඔක්තෝබරයේදී තායිලන්තයේදී පැවැත්වුණු බව පිළිගත් ඇමතිවරයා අවධාරණය කළේ, අර්ජුන රණතුංග ඉවත් කරන මෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් එහිදී තමන්ට බලපෑම් නොකළ බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.