සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පල කොට ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වා තමන්ට කොන්ත්‍රාත්තුවක් ලබාදී නැති බව වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කියයි.
එවැනි කොන්ත්‍රාත්තුවක් ලබාදුන්නත් තමන් එය පිළි නොගැනීමට ඉඩ තිබෙන බවද ලසිත් මාලිංග අයිලන්ඩ් ක්‍රිකට් වෙබ් අඩවියට පවසා තිබේ.
"මට පමණක් නොවෙයි, කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු ට මේ අවුරුද්ද වෙනුවෙන් තවමත් කොන්ත්‍රාත්තු ලබා දීල නැහැ," ඔහු පැවසූ බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.
නමුත් සන්ඩේ ටයිම්ස් පුවත්පත පල කොට තිබුනේ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමන්ට ලබා දුන් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරන ලද බවයි.
"මට පමණක් නොවෙයි, කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු ට මේ අවුරුද්ද වෙනුවෙන් තවමත් කොන්ත්‍රාත්තු ලබා දීල නැහැ"
ලසිත් මාලිංග
ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින බැවින් කණ්ඩායමේ අනෙක් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක වාර්ෂික වේතනයක් ලැබෙද්දී ශ්‍රී ලංකාවේ දැනට සිටින දක්ෂතම වේග පන්දු යවන්නා වන ඔහුට ඩොලර් 40,000 ක කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට ඉඩ තිබෙන බවද එම වෙබ් අඩවිය පවසයි.
කොන්ත්‍රාත්තුවක් දුන්නත් නොදුන්නත්, පසුගිය වසරේ ක්‍රීඩා කළ අයුරින්ම කණ්ඩායමට අවශ්‍ය නම් තමා තව දුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදානම් බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබුව හොත් ජනමාධ්‍ය වලට කතා නොකිරීම ඇතුළු කොන්දේසි ගණනාවකට යටත්වීමට ක්‍රීඩකයන්ට සිදුවන අතර එසේ අත්සන් නොකරන ක්‍රීඩකයන්ට එවැනි කොන්දේසි නො පැනවෙන අතරම ඔවුන් ක්‍රීඩා කරන තරග සඳහා ඔවුන්ට සියයට විසි පහක අතිරේක දීමනාවක්ද හමුවේ.








