අනුරාධ කුරේ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අප්‍රේල් 23 සඳුදා - 11:22 GMT
ලන්ඩන් මැරතන් තරඟය

අනුරාධ කුරේ ලන්ඩන් මැරතන් තරඟයට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි

ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීම සඳහා සුදුසුකම් ලැබීමට ඊයේ ලන්ඩන් මැරතන් තරඟයට එක්වූ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සමත්විය.

බැඩ්මින්ටන් ජාතික ශූර නිලුක කරුණාරත්න මේ වසරේ ජුලි මාසයේ පැවැත්වීමට නියමිත ලන්ඩන් ඔලිම්පික් තරඟය සඳහා සුදුසුකම් ලබාසිටින අනෙක් එකම ශ්‍රී ලාංකිකයාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලන්ඩන් මැරතන් තරඟයට දෙවැනි වතාවටත් සහභාගි වූ අනුරාධ කුරේ, එයට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි.

ඊයේ පැය දෙකයි විනාඩි 17යි තත්පර 50කින් තරඟය නිමාකළ ඔහු තවත් තත්පර 10කට පසුව එය නිමාකළේනම් ඔලිම්පික් තරඟයට සහභාගිවීමේ සිහිනය බොඳව යාමට ඉඩ තිබුණි.

"මම බලාපොරොත්තුවුනේ පැය දෙකයි විනාඩි 15 කින් තරඟය ඉවරකරන්න. මගේ පුහුණුකරු නික් ටේලර් නිතරම කිවුවේත් මට ඒක කරන්න පුළුවන් කියල," තරඟය හමාරයේ බීබීසී සංදේශය සමඟ කතාබහකට එක්වෙමින් ඔහු පැවසීය.

"නමුත් මුල් භාගයේදී මම ඕනවට වඩා වේගයෙන් දිවුව නිසා දෙවැනි භාගයේදී මගේ වේගය ටිකක් අඩුවුනා," අනුරාධ කුරේ තවදුරටත් පැවසීය.

2004දී ඇතන්ස් නුවර පවතී ඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 30වැනි ස්ථානයට පත්වූ අනුරාධ ඉන් අනතුරුව ක්‍රීඩාවෙන් විශ්‍රාමගෙන විදේශගතවිය. එහෙත් බ්‍රිතාන්‍යයේදී එම තීන්දුව වෙනස්කොට 2007දී නව පුහුණුකරු යටතේ යලිත් වරක් පුහුණුවීම් ඇරඹීය.

ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී අඩුම තරමින් ලොව දක්ෂතම මැරතන් ධාවකයන් 15දෙනා අතරට එක්වීම ඔහුගේ බලාපොරොත්තුවයි.

"මම විශ්‍රාම ගත්තට පස්සේ අවුරුදු අටකින් කිසිම මැරතන් ධාවකයෙක් ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරඟයකට සුදුසුකම් ලබල නැහැ. ඒ නිසා අයෙත් වතාවක් රට වෙනුවෙන් ඔලිම්පික් තරඟයකට දුවන්න ලැබීම ගැන හරිම සතුටුයි," අනුරාධ කුරේ සංදේශයට කීවේ සිනහවකින් මුව පුරවාගෙනය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.