ග්ල්යිෆොසෙට් වල් නාශක රසායනය තහනම්

12 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:17 GMT

වකුගඩු රෝගීන් තිස් පන් දහසක් පමණ නිල වශයෙන් හඳුනා ගෙන ඇත

වකුගඩු රෝගය ව්‍යාප්ති වීමට ප්‍රධාන හේතු කාරකයක් ලෙස හඳුනා ගෙන ඇති ග්ල්යිෆොසෙට් වල් නාශක රසායනය තහනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නියෝග කොට තිබේ.

මේ බව අනාවරණය කළ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම.චන්ද්‍රසේන මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට ඇත්තේ කැලිෆෝර්නියා විශ්ව කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් සිදු කළ පරීක්ෂණයකින් ඒ බව තහවුරු කොට ඇති බවයි.

රජරට වකුගඩු රෝගය පිළිබඳ පුළුල් ලෙස පර්යේෂණ සිදු කල රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ ග්ල්යිෆොසෙට් රසායනය වකුගඩු රෝගය සෑදීමට බලපාන එක සාධකයක් පමණක් බවයි.

ඒ හැරුන විට කිවුල් සහිත ජලය, ෆොස්ෆේට් වර්ගයේ පොහොර මගින් එකතු වන ආසනික් සහ සෙසු බැර ලෝහ ආදිය එක් වූ ජලය පානය කිරීමෙන් වකුගඩුවලට හානි සිදු වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එක සාධකයක්

“ග්ල්යිෆොසෙට් කියන්නේ එක කාරණයක් පමණයි. ඒක ඉවත් කළ පමණින්ම රෝගය නවතියි කියල අපට අපේක්‍ෂා කරන්න බැහැ. අනෙත් කාරණය තමයි දැනට පරිසරයට එකතු වෙලා තියෙන ග්ල්යිෆොසෙට් නිසා ඇතිවන බලපෑම තව අවුරුදු දහයක් පහළොවක් තියෙන්න පුළුවන්. නමුත් මෙම චක්‍රය එක තැනකින් කැඩිය යුතු නිසා අපි හිතනවා ගත්ත තීරණය මගින් යම් ආකාරයක හොඳ බලපෑමක් ඉදිරි අවුරුදූ පහක හයක කාලය ඇතුළත ඇතිවෙයි කියල ”, වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළේය.

මේ වන විට රෝගීන් තිස් පන් දහසක් පමණ නිල වශයෙන් හඳුනා ගෙන ඇති බවත් පැවසූ ඔහු රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව එක ලක්ෂ පනස් දහසක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇති බවත් ප්‍රකාශ කළේය.