අමන්ත පෙරේරාට ජගත් මාධ්‍ය සම්මානයක්

3 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:33 GMT

පාරිසරික වාර්තා කරණය වෙනුවෙන් පිදෙන ඉහළම ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් සමත් වෙයි.

හිමාලයේ ග්ලැසියර විල් උතුරා යාම පිලිබඳ වාර්තා කරමින් නේපාල - චීන දේශ සීමාවේ

කාලගුණ විපර්යාස සහ එමගින් සාමාන්‍ය ජනතාවට සිදුවන බලපෑම අලලා 2013 කැරුණු වාර්තා වෙනුවෙන් ලබා දුන් සම්මානයේ අනුග්‍රාහක පැනොස් සංවිධානය ප්‍රකාශ කරන්නේ දකුණු ආසියානු රටවලින් ඉදිරිපත් වූ හැත්තෑවකට ආසන්න මාධ්‍යවේදීන් අතරින් අවසාන වටයට සම්මාන ලාභීන් විසි හතර දෙනකු තෝරා ගන්නා ලද බවයි.

ඒ අතර සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා අමන්ත පෙරේරා හා අප්සරා කපුකොටුව පෙරේරා.

දකුණු ආසියානු කලාපය සිය වාර්තාකරණයේ කේන්ද්‍රස්ථානය කොට ගත් අමන්ත පෙරේරා ස්වාධීන මාධ්‍යවේදියෙක් මෙන් ම පර්යේෂකයෙක් සහ පුහුණු කරුවෙක්. ඔහුගේ ලිපි ටයිම්, තොම්සන් රොයිටර්ස් පදනම, IRIN සහ IPS හි පළ වෙයි.

කාලගුණ විපර්යාස සම්බන්ධ වාර්තාකරණයේ දකුණු ආසියානු විශිෂ්ටයා ලෙසින් සම්මාන දිනූ අමන්ත පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ මෝසම් වැසි වලින් සාක් කලාපීය රටවලට සිදු කැරෙන බලපෑම් තම වාර්තා අතර මුල් තැනක් ගත් බවයි.