රතුපස්වල කම්හල වැසීමට පියවර

27 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 12:09 GMT

මත භේදයට තුඩු දී තිබෙන රතුපස්වල කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සියනෑ ජලය සුරැකීමේ සංවිධානය ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ රජයේ නීතිවේදිනිය මේ බව දැනුම් දී ඇත.

එහෙත් කොපමණ කලකින් කර්මාන්ත ශාලාව වසා දමන්නේ ද යන්න රජයේ නීතිවේදිනිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර නැත.

'අවිශ්වාසය'

රජය ලබා දෙන පොරොන්දු මත විශ්වාසය තැබිය නොහැකි නිසා පෙත්සම දිගටම විභාග කරන මෙන් තම නීතිවේදීන් ඉල්ලා සිටි බව පෙත්සම ගොනු කළ සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටියේය.

ඒ අනුව කර්මාන්ත ශාලාව වසා දැමීම මැයි මස 30 වනදා වනවිට සිදු නොවුනහොත් එදිනට පෙත්සම විභාගය සඳහා කැඳවන බව ද අධිකරණය තීන්දු කර තිබේ.

ජනාධිපති සහතිකය

පානීය ජල දූෂණයට චෝදනා ලබන හේලීස් සමාගමේ රබර් නිෂ්පාදන කම්හල ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ රතුපස්වල ජනතාවට සහතික වූයේ ඉකුත් අගෝස්තුවේ.

හේලීස් ව්‍යාපාර සමූහයේ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් අත් වැසුම් කම්හලින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතු වන බව පවසමින් අගෝස්තු මුලදී උද්ඝෝෂණයේ යෙදුන ජනතාවට හමුදාව වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුන් දෙනෙක්.

වැලිවේරිය හමුදා ප්‍රහාරය දේශීය මෙන් ම විදේශීය මානව හිමිකම් සංවිධාන හා ආගමික ආයතන වල දැඩි විවේචනයට ලක් විය.