මහැදුරු තම්බයියාගේ විශ්ලේෂණ 'අදටත් වලංගුයි'

20 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:15 GMT

දිවියෙන් සමුගත් එස් ජේ තම්බයියා මහාචාර්යවරයාගේ පර්යේෂණ කෘති ජගත් සම්භාවනාවට පාත්‍ර වූ වත්, ශ්‍රී ලංකාව තුල දැඩි ප්‍රහාරයට ලක්වූ බව මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න පවසයි.

ශ්‍රී ලංකාව විසින් ලෝකයට දායාද කැරුණු මුල් පෙළේ සමාජ විද්‍යාඥයකු වන ස්ටැන්ලි ජෙයරාජා තම්බයියා ජීවිතයේ සැන්දෑ සමය ගත කළේ එක්සත් ජනපදයේ බොස්ටන් නුවර.

ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ සමාජ මානව විද්‍යා මහාචාර්ය ධුරය හෙබැවූ එස්ජේ තම්බයියා ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය පිළිබඳවත්, ජාතින් මෙන්ම ආගම් හා දේශපාලනය පිලිබඳ ශාස්ත්‍ර ගවේෂණයේ යෙදුනු සමාජ මානව විද්‍යාඥයෙක්.

මිය යන විට අසූ පස් වැනි වියේ පසු වූ මහාචාර්ය තම්බයියා ශ්‍රී ලාංකිකයන් අතර මහත් සාකච්ඡාවට පාත්‍ර වුයේ මතභේදයට තුඩු දුන් බුදු සමය පාවා දීම? (Buddhism Betrayed?) කෘතිය 1992 දී මුද්‍රණ ද්වාරයෙන් එලි දැක්වීමෙන්.

අහිංසා වාදී දර්ශනයක අනුගාමී බෞද්ධ භික්ෂුන් වහන්සේ අතුරින් ඇතැමකු ශ්‍රී ලංකාව තුල ප්‍රචණ්ඩ දේශපාලනයක නියැලීමයි එම ග්‍රන්ථයේ මෙන්ම 1986 දී පළ කැරුණු Ethnic Fratricide and Dismantling of Democracy (වාර්ගික භාතෘ ඝාතනය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සළු ගැලවීම) පොතේත් සාකච්ඡාවට ගැනුනේ.

ඔහුගේ පේරාදෙනි සරසවි සිසුවකු මෙන්ම ථෙරවාද බෞද්ධාගම පිලිබඳ නිදහස් පර්යේෂකයකයකුද වන මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න සංදේශයට ප්‍රකාශ කළේ තම්බයියා මහාචාර්යවරයා බුදු සමය සම්බන්ධයෙන් එවක හෙළි කළ කරුණු 'ඉතාමත් බලවත් සේ වලංගු' බවයි.

1997 දී මහාචාර්ය තම්බයියා කීර්තිධර බල්සාන් සම්මානයෙන් පුද ලැබුවේ අග්නිදිග ආසියාවේ වාර්ගික ප්‍රචන්ඩතා සහ බෞද්ධ සමාජ පිළිබඳව කළ මුල් පෙලේ අධ්‍යයන වෙනුවෙන්.