මැති ඇමතිවරුන්ගේ දූෂණ සොයන තුර්කි පොලිසිය

7 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:07 GMT

තුර්කියේ රාජ්‍ය ආයතන තුළ සිදු වන වංචා , දූෂණ සහ අල්ලස් ගැනීම් පිළිබඳ ව පරීක්ෂණ පැවැත් වීමට තුර්කි අධිකරණය සහ පොලිසිය දැඩි පියවරක් ගෙන තිබේ.

ඒ අනුව පසුගිය මාසයේ සිදු කරුණු වැටලීම් වලදී රජයේ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් පනහකට අධික පිරිසක් අත්අඩංගුවට පත් වූ බව වාර්තා විය.

හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ පුතුන් දෙදෙනා තවමත් අත්අඩංගුවේ

ඔවුන් සියලු දෙනා තුර්කි අගමැතිවරයාගේ ආධාරකරුවන්.

හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ පුතුන් දෙදෙනා සහ රාජ්‍ය බැංකුවක ප්‍රධානියා තවමත් සිටින්නේ අත්අඩංගුවේ.

සීතල යුද්ධය

ඉන් පසුව තුර්කි ආණ්ඩුව සහ පොලිසිය අතර සබඳතා නරක අතට හැරෙන්නට පටන් ගත් අතර තුර්කි ආණ්ඩුවේ මිත්‍ර පාර්ශව දෙකක් අතර පැවති සීතල යුද්ධය උණුසුම් විය.

අගමැති රෙජේප් ටයීප් අර්ඩොවාන් ගේ ඒකේපී පක්ෂය අනාගමික පක්ෂයකි. නමුත් ආණ්ඩුව ඇතුළේ ඉස්ලාමීය දේශකයෙකු වන ෆෙතුල්ලා ගුලාන් ගේ අනුගාමිකයෝ ද සිටිති.

ආණ්ඩුවට මඩ ගසන්නට පොලිසිය සහ අධිකරණය තුළ සිටින ගුලාන් අනුගාමිකයන් ඉහත කී දූෂණ චෝදනා එල්ල කර පරීක්ෂණ පවත්වන බවයි රජය පවසන්නේ.

පරීක්ෂණ ආරම්භ වූ වහාම අගනුවර පොලිස් ප්‍රධානියා තනතුරෙන් පහ කරන්නට රජය පියවර ගත්තේය.

අනතුරුව තවත් පොලිස් නිලධාරීන් 350 ක් පොලිසියෙන් ඉවත් කළ බවයි අලුත් ම වාර්තා සඳහන් කරන්නේ.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් තම පුත්‍රයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය පා තුර්කි කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වීමෙන් පසු අගමැතිවරයා තවදුරටත් අපහසුතාවට පත් විය.

වසර 2002 දී ඇතිවූ ආර්ථික අවපාතයෙන් තුර්කිය ගොඩ ආවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන්.

අලුත් ම අර්බුදය හමුවේ තුර්කි මුදලේ අගය ඩොලරයට එරෙහිව අවප්‍රමාණ වී තිබේ.

යුරෝපා හවුලට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින තුර්කියේ අනාගතය දෙස ලෝක බලවතුන් බලා සිටින්නේ දැඩි විමසිල්ලෙන්.