ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ස්වාධීන පරීක්ෂණ 'ප්‍රායෝගික නැහැ' කමලේෂ් ෂර්මා

4 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 14:11 GMT

මානව හිමිකම් පිරිහීම සහ යුධ අපරාධ පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා විභාග කිරීමට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට පැහැදිලි මතයක් නොමැති බව මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කරයි.

බී.බී.සී රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 'ප්‍රායෝගික නොවන දෙයක් සම්බන්ධයෙන්' තමන් ස්ථාවරයක් ගන්නේ නැති බවයි.

"එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවෙයි," යනුවෙන් ඔහු පැවසීය.

දෝෂාභියෝගය

මෙම චෝදනා හමුවේ කැනඩාව සමුළුව වර්ජනය කිරීම සහ ඉන්දියාව තුලින් එරට අගමැතිවරයාට සමුළුව වර්ජනය කරන ලෙස හඬ නැගෙමින් තිබියදී, සමුළුව ආරම්භ කිරීමටත් පෙර ආන්දෝලනයක් පැන නැගී තිබීම පිලිබඳ බී.බී.සී යේ ජෝර්ජ් අලගායා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් මහ ලේකම් ශර්මා පවසන්නේ වෙනත් සමුළු වාර සමග සසඳා බලද්දී මෙම සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ගේ සංඛ්‍යාවේ වෙනසක් නොමැති බවයි.

කමලේෂ් ශර්මා ජෝජ් අලගායා සමඟ
'වාද විවාද පැවති බව ඇත්තක්. නමුත් රාජ්‍ය නායකයන්ගේ සහභාගී වීමේ අඩුවක් නෑ'

"වාද විවාද පැවති බව ඇත්තක්. නමුත් රාජ්‍ය නායකයන්ගේ සහභාගී වීමේ අඩුවක් නෑ. අනෙක් කාරණය රාජ්‍ය නායක සමුළුවට අමතරව සමුළුව තුල සිදු වන තවත් වැඩ සටහන් ගණනාවක් තිබෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලය සංහිඳියාව පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාදාමයන් හි නිරත බව පවසන මහ ලේකම් වරයා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග එක් වී මානව හිමිකම් සඳහා සුවිශේෂ සැලසුමක් සම්පාදනය කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රියා කර ඇති බව ද ප්‍රකාශ කළේය.

හිටපු අගවිනිසුරුවරිය තනතුරින් පහ කිරීම පිළිබඳ තම මතය ප්‍රකාශයට පත් කර, ඒ පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාදාමයකින් පසු රජය වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි මහ ලේකම් වරයා කියා සිටියේ.

එහෙත් නම මසක් ගත වී ඇති වූ ප්‍රතිඵලයක් තිබේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් මහා ලේකම් ශර්මා යලිත් කියා සිටියේ නිර්දේශ භාර දුන් බව පමණයි.

තම ආයතනය මානව හිමිකම් කොමිසම සහ රජය සමග සහයෝගයෙන් කටයුතු කරමින්, සංහිඳියාව, මානව හිමිකම් දියුණු කිරීම වැනි ක්‍රියාදාමයන් වෙනුවෙන් ජාතික විසඳුම් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට සහාය දෙනු ලබන බවයි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා අවධාරණය කරන්නේ.