අතුරුදහන්වීම වචනය 'ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් කරවන්න'

27 ඔක්තෝබර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 16:34 GMT

අතුරුදහන්වූවන් සිහි කිරීමේ ජාතික දින සැමරුම වෙනුවෙන් උතුරේ සහ දකුණේ සිට සීදූවේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අභියසට රැස්ව සිටි අතුරුදහන්වූවන්ගේ මවුවරු හැඬු කඳුලෙන් යුතුව සිය ඥාතීහු සිහි කළහ.

අතුරුදහන් වූ සිය දරුවන්ගේ ඡායාරූප බදා ගෙන වැළපෙන මවුවරු
අතුරුදහන් වූ සිය දරුවන්ගේ ඡායාරූප බදා ගෙන වැළපෙන මවුවරු

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරන ලද විසි තුන් වැනි අතුරුදහන්වූවන් සැමරුමේදී අතුරුදහන් වූ සිය දරුවන්ගේ ඡායාරූප බදා ගෙන මවුවරුන් වැළපුණු අන්දම ඉතා ශෝචනීය දර්ශනයක් වූ බව සැමරුම වාර්තා කරන ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න පවසයි.

පූජ්‍ය පක්ෂය, දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් සහ පසුගිය කාලය තුළ උතුරේ සහ දකුණේ අතුරුදහන්වූ පවුල්වල සාමාජිකයෝ ජාතික දින සැමරුමට සහභාගි වූ අතර, සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව එය ඇරඹුණේ ජයතිලක බණ්ඩාර ප්‍රමුඛ සාදුජනරාව සංගීත කණ්ඩායමේ ගීතයකින්.

කොමිසම 'විශ්වාස නෑ'

ඉන් අනතුරුව පිරිස ඇමතූ අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු, "ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන්" අතුරුදහන්වූවන් පිලිබඳ සොයා බැලීම පිණිස මෑතදී පත් කරන ලද ජනාධිපති කොමිසම පිළිබඳව ජනතාව තුල කිසිදු විශ්වාසයක් නැති බව කියා සිටියේය.

ගතව ගිය දශක කිහිපය ඇතුලත දහස් සංඛ්‍යාත ශ්‍රී ලංකාවාසීන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් පවත්නා රජය මෙන්ම පැවති සෑම රජයක්ම වගකිව යුතු බව පැවසූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, පොලිසිය සහ අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම පිණිස සටන් කිරීමට සූදානම් බවද කියා සිටියේය.

"අතුරුදහන්වීම" යන වචනය ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් කරවිය යුතු බවයි, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මේ අතර අවධාරණය කළේ.

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්, අතුරුදහන්වූවන් සිහි කිරීම පිණිසත් 2000 පෙබරවාරි 04 වැනි දින අතුරුදහන්වූවන්ගේ සිහිවටනය සීදූව, දොළුකන්ද හන්දියේ ගොඩනගන ලද්දේ චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ගේ නිර්මාණ දායකත්වයෙන්.