වැලිවේරිය: පොරොන්දු කඩ කළොත් මමත් පාරට බහිනවා - මහ ඇමති

13 ඔක්තෝබර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 13:35 GMT

ලබන අප්‍රේල් මාසයේ කම්හල වසා දමන බවට රතුපස්වල වෙනිග්‍රොස් කම්හල දුන් පොරොන්දුව කඩ කළහොත් තමාත් උද්ඝෝෂණවලට එක් වන බව බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රතිඥා දුන් බව ප්‍රදේශවාසීහු පවසති.

වැලිවේරියේ ප්‍රහාරයට එරෙහි උද්ඝෝෂණයක්
වැලිවේරියේ උද්ඝෝෂකයන්ට එල්ල වූ හමුදා ප්‍රහාරයෙන් තිදෙනකු මරුමුවට පත් විය

අද රතුපස්වලට පැමිණි මහ ඇමතිවරයා, පරිසර කමිටුවේ නියෝජිතයන් සමඟ පැවැත්වූ රැස්වීමකදී එම ප්‍රතිඥාව දුන් බවයි, රැස්වීමට සහභාගි වූ පරිසර කමිටු සාමාජිකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ

ලබන අප්‍රේල් මාසය වන තුරු කම්හලේ නිෂ්පාදනවලට අවසර දීමටත්, අප්‍රේල් මාසයෙන් අනතුරුව කම්හල වසා දැමීමටත් කම්හල් බලධාරීන් සහ තෙරිපැහැ සිරිධම්ම හිමියන් අතර ඇති කරගත් එකඟත්වය අධිකරණ තීන්දුවක් බවට පත් කර ගැනීමට කටයුතු කරන මෙන් මහ ඇමතිවරයා යෝජනා කළ බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම පිණිස හෙට පුළුල් රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ බවද පරිසර කමිටු නියෝජිතයා පැවසීය.

උද්ඝෝෂණ තහනම්

මේ අතර ලබන 20 වැනිදා වන තුරු ප්‍රදේශයේ සියලු උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගත් බව රතුපස්වල පැවති රැස්වීමට සහභාගි වූ පොලිස් අධිකාරී ඩබ්ලිවු බී කොමදෝරු දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රදේශයේ විහාරස්ථානයකට පහර දීමෙන් අනතුරුව ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම පිණිස එම පියවර ගත් බව, වැඩ බලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී පදවියක්ද හොබවන අදාළ විහාරස්ථානයේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේ වෙනිග්රෝස් කම්හලට සෙත් පතා පූජාවන් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පිරිසක් විහාරස්ථානයට පහර දී තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගැනුණු පිරිසක් සෙනසුරාදා සවස ඇප මත මුදා හැරුණු බවද පරිසර කමිටු සාමාජිකයා පැවසීය.