ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොදු රද සමුළුවට සහභාගි වීම ගැන තවම තීරණයක් නෑ - ඉන්දියාව

7 ඔක්තෝබර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:52 GMT

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අගමැති මන් මෝහන් සිං සහභාගි වන්නේද යන්න පිළිබඳව තවමත් තීරණය කොට නැතැයි ඉන්දීය විදේශ ඇමතිවරයා පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් ඒ බව කියා සිටියේ, කොළඹදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

අද කොළඹට ලඟා වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, විදේශ ඇමති ජීඑල් පීරිස් කොළඹදී හමු වී සාකච්ඡා පැවැත්විය. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීයි, මාධ්‍යවේදීන් ඉන්දීය අමාත්‍යවරයාට එම ප්‍රශ්ණය යොමු කළේ.

'යහපත් අනාගතයක්'

උතුරු පළාත් සභා මැතිවරණය සාර්ථකව නිමා වීම උතුරේ ජනතාව වෙනුවෙන් වඩාත් යහපත් අනාගතයක් උදා කර දීමට හේතුවනු ඇතැයි, සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍ය කුර්ශිඩ් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මැතිවරණවලින් අනතුරුව උතුරේ දැන් මතු වී තිබෙන වාතාවරණය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අව්‍යාජ සංහිඳියාවක් ඇති කිරීම උදෙසා යොදා ගත යුතු බවද අමාත්‍යවරයා පවසයි.

පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ඇතුළු බලතල බෙදා හැරෙන ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කිහිප වතාවක්ම තමන්ටත්, ජාත්‍යන්තර ප්‍රජාවටත් ප්‍රතිඥා දී තිබෙන බව අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් පෙන්වා දෙයි.

සාම්පූර් බලාගාරය

එම ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම් වස් දෙමළ ජාතික සන්ධානය සමඟ ඉතා ඉක්මනින් යලි සාකච්ඡා ආරම්භ කෙරෙනු ඇතැයි යන්න ඉන්දියාවේ බලාපොරොත්තුව බවයි, ඔහු සිය නිවේදනයේ සඳහන් කරන්නේ.

සාම්පූර්හි තාප බලාගාරය ඉදි කිරීම සම්බන්ධ සම්මුතිවලට අද සවස් යාමයේ අත්සන් තබන බව පවසන නිවේදනය, 2016 වන විට බලාගාරය ඉදි කිරීමේ කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.

සාම්පූර් බලාගාරය ඉදි කිරීම ඉන්දියාවට පැවරීම පිළිබඳව හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල විරෝධය පළ කොට තිබේ.