විදුලි පණිවුඩවලට ආයුබෝවන්

30 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 13:07 GMT

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද විදුලි පණිවුඩ අද ශ්‍රී ලංකාවෙන් සමුගනියි.

දුරකථන, ජංගම දුරකථන ඇතුළු නව තාක්ෂණයේ ආගමනය සමඟම සන්නිවේදන පහසුකම් වැඩි දියුණු වීමත් සමඟම විදුලි පණිවුඩ භාවිතය පහල වැටීම මෙන්ම විදුලි පණිවුඩ යැවීම පිණිස ඉතා විශාල මුදලක් වැයවීමත් හේතුවෙන් මෙම තීන්දුවට එළැඹුණු බවයි, තැපැල්පති රෝහණ අබේරත්න බීබීසී සංදේශයට කියා සිටියේ.

විදුලි පණිවුඩ
විදුලි පණිවුඩ සේවය, මීට දශක ගණනාවකට ඉහතදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පිහිටවනු ලැබූවක්

"විදුලි පණිවුඩයක් යැවීම සඳහා රුපියල් දෙසිය හතලිහක පමණ වියදමක් දරන්න වෙනවා. ඒ සඳහා අය කිරීම වෙන්නේ රුපියල් තුනක්," යනුවෙන් ද ඔහු පැවසීය.

ගතව ගිය මාසයේ පමණක් විදුලි පණිවුඩ ලක්ෂ එක් ලක්ෂ පන්ස දහසක් පමණ යවා තිබෙන නමුත් එය සාපේක්ෂව විශාල පහල වැටීමක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එක් දහස් හත් සියයක පමණ පිරිසක් පණිවුඩකරුවන් ලෙසින් විදුලි පණිවුඩ බෙදා හැරීමේ නිරතව සිටි අතර ඔවුන්ගේ සේවය වඩාත් ඵලදායී ලෙසින් යොදා ගැනීමත් විදුලි පණිවුඩ බෙදා හැරීම නවත්වා දැමීමේ තවත් අරමුණක්.

කෙසේ නමුත් මේ පියවර හේතුවෙන් කිසිම රැකියා කප්පාදුවක් සිදු නොවන බවද තැපැල්පති රෝහණ අබේරත්න සංදේශයට පැවසීය.

මීට මාස කිහිපයකට ඉහතදී ඉන්දියාද විදුලි පණිවුඩ සේවය නවතා දැමුවේය.