අයිපීඑල් ලංකාවට ගේන්නේ තරඟ පාවාදීමට - අර්ජුන

29 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 12:59 GMT

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට දැරෙන උත්සාහය තවදුරටත් මුදලට ක්‍රිකට් තරඟ පාවාදීමේ ප්‍රයත්නයක් බව අර්ජුන රණතුංග පවසයි.

Arjuna Ranathunga in parliament (file photo)
'මේ කුණු ගොඩක් අපේ රටට ඇතුළු කරලා, මුදල් හම්බ කිරීමේ වැඩ පිළිවෙලක් කරන්නේ'

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ඒ බව කියා සිටියේ, ඉන්දීය මහ මැතිවරණයද ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් ලබන වසරේ අයිපීඑල් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

තරඟ පාවාදීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනකු මේ වනවිටත් දඬුවම් ලබා සිටින බව පෙන්වා දෙන අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා, ක්‍රීඩකයන් පමණක් නොව දැන් ඉන්දීය පොලිසිය අයිපීඑල් සංවිධායකයන් සහ ක්‍රිකට් සමාජ හිමිකරුවන් පිලිබනදවද සෝදිසියෙන් සිටින බවද සඳහන් කරයි.

මෙවැනි වාතාවරණයක් යටතේ අයිපීඑල් තරඟාවලිය පැවැත්වීමේ යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකාව එය ප්‍රතික්ෂේප කළ යුතු බවයි ඔහු පවසන්නේ.

'නඩු දාන්න'

"මේ කුණු ගොඩක්, ජරාවක් අපේ රටට ඇතුළු කරලා, පරීක්ෂණ යට ගහලා මුදල් යොදවන අයට මුදල් හම්බ කිරීමේ වැඩ පිළිවෙලක් කරන්නේ," යනුවෙන් ඔහුබීබීසී සංදේශයට කියා සිටියේය.

Thisara Perera
තිසර පෙරේරාට චෝදනා එල්ල කළ මාධ්‍යවලට එරෙහිව 'නීතිමය පියවර ගත යුතුයි'

තරඟ පාවාදීම අපරාධයක් බවට පත් කළ යුතු යැයි හිටපු ඉන්දීය නායක රාහුල් ද්‍රාවිඩ් කළ යෝජනාව අනුමත කරන මන්ත්‍රීවරයා, එවැනි පණතක් ඉදිරිපත් කරන මෙන් තමන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවද සංදේශයට පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේත් තරඟ පාවාදීම් සිදුවූ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හෂාන් තිලකරත්න පසුව මුනිවත රැකීම කනගාටුවට කරුණක් බවයි, අර්ජුන රණතුංග පවසන්නේ.

මේ අතර අයිපීඑල් තරඟ පාවාදීමට තිසර පෙරේරාද සම්බන්ධ වී ඇති බවට පළ වූ වාර්තා පිළිබඳව අදහස් දැක්වූ හිටපු නායකයා අවධාරණය කරන්නේ, ඉන්දීය පාලක මණ්ඩලය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලද බව පවසමින් 'යට ගැසීමට' ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට හැකියාවක් නොමැති බවයි.

"පුවත්පතක එහෙම සඳහන් කළා නම් ඒ පුවත්පතට එරෙහිව නඩු මාර්ගයට යොමු වෙලා... නිකම්ම මේක යට ගහල නිදහස් කිරීම ක්රීදකයටත් කරන ලොකු අසාධාරණයක්," බවද ඔහු පැවසීය.