අප ලබා දුන්නේ ප්‍රජා පොලිස් පුහුණුවක් - ස්කොට්ලන්ත පොලිසිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 11 බදාදා - 16:55 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සඳහා දියත් කල වැඩසටහන ජාත්‍යන්තර ප්‍රමිතියට සහ ප්‍රජා පොලිස් නිලධාරී පුහුණු කිරීම් වලට අනුව සකස් කළ වැඩ පිළිවෙලක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සඳහා දියත් කල වැඩසටහන ජාත්‍යන්තර ප්‍රමිතියට සහ ප්‍රජා පොලිස් නිලධාරී පුහුණු කිරීම් වලට අනුව සකස් කළ වැඩ පිළිවෙලක් බව එම වැඩසටහනේ පුහුණුකරුවෙක් වූ පොලිස් පරීක්ෂක ක්‍රෙග් ඩුවර් කියා සිටියි.

ඔහු මේ අදහස් පළ කලේ ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් යම් වගකීමක් එය පුහුණු කිරීමේ යෙදී සිටින ස්කොට්ලන්ත පොලිසිය භාර ගත යුතු බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සංදේශය විමසූ අවස්ථාවේ.

ස්කොට්ලන්ත පොලීසිය විසින් වසර හයක් තිස්සේ ශ්‍රි ලංකාවේ පොලිස් නිලධාරීන් පුහුණු කරන බව Corporate Watch සංවිධානය නිකුත් කල වාර්තාවකින් අනාවරණය වූ අතර ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ඊට පුහුණු පාඨමාලා ලබාදෙන ස්කොට්ලන්ත පොලිසියේ අවධානය යොමු විය යුතු බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියා සිටියේ.

ස්කොට්ලන්ත රජයේ වියදමින් ශ්‍රී ලංකාවට නව ආරක පොලිස් සේවයක් ගොඩ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන මෙසේ විවේචනයට ලක් වීම කණගාටුවට කරුණක් බවයි ස්කොට්ලන්ත පොලිස් පුහුණු පාසලේ ජාත්‍යන්තර සංවර්ධන අංශයේ ක්‍රේග් ඩුවර් ප්‍රකාශ කළේ.

“ මේ ගැන මම කණගාටු වෙනවා. බ්‍රිතාන්‍ය රජය ආරක්ෂක පහසුකම් සැපයීමේ වැඩසටහන් දියත් කරන්නේ එම වැඩසටහන් මගින් මානව හිමිකම් වලට තර්ජන ඇති නොවන බව තහවුරු කර ගෙන, අපි ලංකාවේ දියත් කල පුහුණු වැඩසටහන ජාත්‍යන්තර සහ පොලිස් පුහුණු කිරීමේ ප්‍රමිති වලට අනුව සකස් කල එකක්. අපි ලබා දුන් පුහුණුවේ සමස්ත අරමුණ ලංකාවේ ප්‍රජා පොලිස් සේවා වර්ධනය කිරීම” බව ඔහු කියා සිටියා.

ස්කොට්ලන්ත පොලිස් විද්‍යාලය

ශ්‍රී ලංකාවේ පොලිසියට එල්ල කෙරෙන මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තම වැඩසටහනට ඇඟිල්ල දිගු කිරීම පිළිගත නොහැකි බව සඳහන් කළ පොලිස් පරීක්‍ෂක ක්‍රෙග් ඩුවර්, ස්කොට්ලන්ත පුහුණු කරුවන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන අන්දම හෝ මහජන ආරක්ෂාව සම්බන්ධ කටයුතු කරන අන්දම පිළිබඳ පුහුණු වැඩසටහන් ලංකාවේ පොලිසියට ලබා නො දුන් බව ද ප්‍රකාශ කර සිටියි.

සමස්ත වැඩසටහන තුල මානව හිමිකම් ආරක්ෂා කල යුතු අන්දම අවධාරණය කළ බව කියා සිටි පොලිස් පරීක්ෂක ඩුවර්, කිසිදු අවස්ථාවක මානව හිමිකම් අමතක කර කටයුතු කළ හැකි බව සඳහන් නො කෙරුණු බවද ඔහු අවධාරණය කර සිටියි.

නමුත් මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ පොලිස් පහරදීම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විමසු විට ස්කොට්ලන්ත පොලිස් විද්‍යාලයේ පොලිස් පරීක්ෂක ක්‍රෙග් ඩුවර් පැවසුවේ එම සිදුවීම් දැන ගැනීමෙන් තමා ඉමහත් කණගාටුවට පත් වූ බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.