ජයතිලක බණ්ඩාර

28 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 14:37 GMT

වැඩිම වාර ගණනක් ශ්‍රී ලංකාවේ ගායනා කැරුණු වීදි ප්‍රසංගය සාධු ජන රාවයේ නියමු, සමාජ ක්‍රියාධර සංගීත වේදී ජයතිලක බණ්ඩාරයන් ගේ කියවීම, සංස්කෘතික හා සමාජ ක්‍රියාධර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ රත්නවල්ලි නාට්‍ය පෙළ.

වැව් බැඳි රටේ පානියන්කඩවල ගාමිණී මහා විද්‍යාලයේ මුල් සිප් සතර හදාළ ජයතිලක බණ්ඩාරයන් උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වුයේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළ සඳහා උගනිමින් සිටි 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය විරෝධී කැරැල්ල ට එක් වූ ජයතිලක බණ්ඩාර සිව් වසරක්ම දිවි ගෙව්වේ සිපිරි ගෙදර. අනුරාධපුර, වැලිකඩ හා බෝගම්බර ගත කළ සමය තුලයි ඔහු සංගීත කලා දී විෂයයන් ප්‍රගුණ කළේ. නිදහස්ව පැමිණ ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ගායන වෘන්දයේ ගැයූ, ජයතිලක බණ්ඩාරයන් එම ප්‍රසංගයේ සිතාර වාදකයා ද වී. අනතුරු සමයේ, ඔහු රජරට ගුවන් විදුලියට එක්වී.

කාලයේ රාවය ගායන ප්‍රසංගය ට එක්වූ ජයතිලක බන්ඩාර, ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ තිදෙනාම වැඩ තහනමට ලක්වී. විශාරද කපුගේ මුල්වූ කම්පන ප්‍රසංගයට ද දායක වූ ජයතිලකයන්, සාධු ජන රාව ඇරඹුවේ 1995 දී. එයයි දහස් වැනි ගව්වද පසුකොට අදත් සාධු ජන වන්දනාව ලෙසින් වීදියේ නින්නාද වන්නේ.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ලංකාවේ අධ්‍යාපනය නිමා කොට ශිෂ්‍යත්වයක් දිනා මොස්කව් මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ දස වසරක ශාස්ත්‍ර ගවේෂණය නිම වූ සුනිල් විජේසිරිවර්ධනයන් පෙරලා සියරට පැමිණියේ කෘෂිකර්ම විද්‍යා ආචාර්ය උපාධි ධාරියකු ලෙසින්. නෝර්වීජියානු මහා නාට්‍යවේදී හෙන්රික් ඉබ්සන්ගේ The Ghosts පුනරාගමන නමින් සිංහලට නගා ආචාර්ය විජේසිරිවර්ධන රාජ්‍ය සම්මානයට පාත්‍රවී. ඔහු අතින් සිංහලට නැගුනු මහා නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙච්ට් ගේ Resistable rights of Arturo Ui 'යක්ෂාගමනය' ලෙසින් ධර්මසිරි බණ්ඩාරනායක විසින් වේදිකාවට ගෙන එනු ලදුව සම්මාන ගණනාවක්ම දිනා ගන්නට සමත් වී. ශ්‍රී ලංකාවේ මුල්ම ඔපෙරාව මහා සංගීත වේදී ප්‍රේමසිරි කේමදාසයන්ගේ මානස විල පිටපත සුනිලුන්ගේ . ලෝක කම්කරු දින ශත සංවත්සරය සමරා ‘නිදි නැති නදියේ නාදය’ නිර්මාණ සමුච්චය එලි දැක්වීමට රචනයෙන්, සංගීතයෙන් හා ගායනයෙන් දායකවූ විජේසිරිවර්ධනයන් ගී සිය ගණනක රචකයා මෙන්ම තනු නිර්මාපකයායි. විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්වාධීන සාහිත්‍ය උළෙලේ පුරෝගාමියායි සුනිල් විජේසිරිවර්ධන.