'එයාගේ කැමැත්තෙන් නෙවෙයි, ඒත් දූෂණයකුත් නෙවෙයි'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 28 බදාදා - 15:39 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

තමන් මෙලොවට බිහි වූයේ තාත්තා විසින් අම්මා දූෂණය කිරීම නිසා බවට නෙදර්ලන්තයේ වැඩුන නිවුන් පුතුන් දෙදෙනා කරන චෝදනාව තාත්තා ප්‍රතික්ෂේප කරයි. (නිමල් සමන්ත සහ සරෝජ් පතිරණගේ චාරිකා සටහනක සිවු වෙනි කොටස)

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

Nimal Samantha at his mother's grave

අම්මාගේ සොහොන් කොත වෙත ගොස්, මල් පූජා කොට ඇය සිහි කිරීම නිමල් සමන්ත ගේ සුපුරුදු චාරිත්‍රයක්

මතුගම ලත්පඳුර නිමල් සමන්ත, ඔහුගේ නිවුන් සොහොයුරු ජූරි සංජීව සහ ඔවුන්ගේ සොහොයුරිය චාමලී ලක්මාලි ඉපදුනු ගම්මානයයි.

කොළඹදී නැගණිය හමුවීමෙන් අනතුරුව අප තිදෙනා ලත්පඳුර බලා පැමිණෙද්දී අමුත්තෙක් අප පැමිණෙන තුරු නිවසේ බලා සිටියේය.

ඔහු නිමල් සමන්ත, ජූරි සංජීව සහ චාමලී ලක්මාලි ගේ පියා, බැර ගමගේ නිමල්.

එහෙත් ඔහු හමුවීම පිණිස නිවසට පිවිසීමට ප්‍රථම ඔවුන්ගේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් අනුගමනය කිරීමට මතක කළේ නැහැ.

ගමට ලඟා වීමත් සමඟම සිය අම්මාගේ සොහොන් කොත වෙත ගොස්, මල් පූජා කොට ඇයත්, බාල වියේදීම මියගිය සොහොයුරාත් සිහි කිරීමත් නෝනා පදනමේ නිර්මාතෘවරයා ගමට යන ගමනේ සුපුරුදු චාරිත්‍රයක්.

හැඟුම්බර මොහොතක්

මීට වසර දාහතකට ඉහතදී මෙලොව හැරගිය අම්මා, එල් ඒ සෝමාවතී ගේ සොහොන කිහිප වතාවක්ම සිප ගනිමින්, මල් තැන්පත් කොට, පහන් පහක් දල්වා ජීවිතයේ කිසි දින නොදුටු අම්මාට ඔහු ගරු බුහුමන් දැක්වූ ආකාරය බලා සිටි අප සැමගේත් දෑස් කඳුලින් තෙත් කෙරුණු මොහොතක්.

නිමල් සමන්ත සිය නැගණිය චාමලී ලක්මාලි සමඟ කොළඹදී

යුරෝපයේ වැඩුණු අයියලා සහ ලංකාවේ වැඩුනු නැගණියත් අතර පවතින විසංවාදයට ප්‍රධානම හේතුව සමාජ සාරධර්මවල වෙනසද?

සෝමාවතී දූෂණය කළ බවට දරුවන් චෝදනා කරන බැර ගමගේ නිමල් අප මුණ ගැසුනේ ඉන් අනතුරුවයි.

නිමල් සහ ජූරි පිළිසිඳ ගනිද්දී, ලිංගිකව එක්වීමට සෝමාවතී ගේ මනාපයක් නොවූ බව නිමල් ගේ තාත්තා පිළිගනියි.

එහෙත් එය ස්ත්‍රී දූෂණයක් බවට පුතුන් දෙදෙනා එල්ල කරන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරයි.

නිමල් සහ ජූරි උපත ලැබීමෙන් අනතුරුව තමන් දෙදෙනා විවාහ වී වසර පහක් පමණ විවාහ ජීවිතයක් ගත කළ බවයි, ඔවුන්ගේ පියා මා සමඟ කියා සිටියේ.

එහෙත් ඔවුන් විවාහ වූ දිනය හෝ අවුරුද්ද ඔහුට මතක නැහැ.

කෙසේ නමුත්, අතීතය ගැන පියා කරන සඳහන නිමල් සමන්ත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ නැගණිය චාමලී ලක්මාලි උපත ලබන්නේ නිමල් සහ ජූරි උපත ලැබීමෙන් වසර තුනකට පසුවයි. ඉන් මාස තුනකට පසුව, ඔවුන්ගේ මව සෝමාවතී මෙලොව හැර යන්නීය.

මවත් පියාත් වසර පහක් විවාහ ජීවිතයක් ගත කළ බවට පියා කරන ප්‍රකාශය ගැන මම දියණිය විමසීමි.

"අයිය කියන දේත් මට තේරෙනවා. ඒත් අම්ම ගැන ඒ වගේ වචනයක් පාවිච්චි කරලා, අම්මගේ ආත්මයට හරි අපහාසයක් කරන්න මම කැමති නෑ"

චාමලී ලක්මාලි

"මම උපදින අතරේ හෝ, මට කලින් අයියා උපදින අතරේ, අම්මයි තාත්තයි කසාද බැඳලා ඉන්න ඇති කියල මට හිතෙනවා."

අම්මා දූෂණය කළ බවට තාත්තාට එල්ල කරන චෝදනාව සහ ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා විවාහ වූ බවට තාත්තා කරන සඳහන ගැන අයියාත්, නංගීත් අතර එකඟත්වයක් නැහැ.

"මම අහල තියෙන විදියට අම්මයි, තාත්තයි අතරේ සම්බන්ධයක් ඇති වෙලා, ඒක දුර දිග ගිහිල්ල තමයි, තාත්ත හම්බ වෙලා තියෙන්නේ."

"ඒත් අයිය කියන්නේ තාත්ත, අම්මව දූෂණය කළා කියලනේ?," මම චාමලී ලක්මාලි ගෙන් විමසීමි.

"එහෙම වෙන්න පුළුවන්. අයිය කියන දේත් මට තේරෙනවා. ඒත් අම්ම ගැන ඒ වගේ වචනයක් පාවිච්චි කරලා, අම්මගේ ආත්මයට හරි අපහාසයක් කරන්න මම කැමති නෑ."

යුරෝපයේ වැඩුණු අයියලාත්, ලංකාවේ වැඩුනු නැගණියත් අතර පවතින විසංවාදයට ප්‍රධානම හේතුව දෙරටේ සමාජ සාරධර්මවල වෙනස බවයි, මට හැඟුනේ.

----------------------------------------------------------------------------------------------------------

අම්මාට කළ අතවර ගැන තාත්තා පුතාගෙන් සමාව යැදි අයුරු මීළඟ කොටසින්

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.