ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දීය මාධ්‍යවේදිනිය දූෂණය කිරීමට එරෙහිව මහජන කෝපය

23 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 16:29 GMT

ඊයේ, බ්‍රහස්පතින්දා, මුම්බායි නගරයේ දී සාපරාධී කල්ලියක් විසින් මාධ්‍යවේදිනියක දූෂණය කරනු ලැබීමේ සිද්ධියට හවුල් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය ප්‍රකාශයට පත් කොට ඇත.

එම සමූහ දූෂණයට හවුල් වී ඇති තවත් හතර දෙනකු ඉතා ම ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

විසි දෙ හැවිරිදි මාධ්‍යවේදිනිය සමූහ දූෂණයට ගොදුරු වුනේ පාවිච්චියට නොගන්නා ඇඟලුම් කම්හලකට පිවිස එහි ඡායාරූප ගනිමින් සිටියදී.

එම අවස්ථාවේ ඇයත් සමඟ සිටි ඇයගේ වෘත්තීය සගයකුට පහර දුන් දූෂකයන් ඔහු බැඳ තබා තිබුණ බවයි, මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

පසුගිය වසරේ දිල්ලි අගනුවර වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක් වූ අවස්ථාවේ මෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ඉන්දියාව පුරා විශාල මහජන කෝපයක් පළ වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

එම සමූහ දූෂණයට එරෙහිව මුම්බායි නගරයේ මාධ්‍යවේදීන් විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය අතර කාන්තා ක්‍රියාධාරිනියන් ද තම අනාරක්ෂිත භාවය පවසමින් එම උද්ඝෝෂණ ව්‍යාපාරයට හවුල් වූ බවයි වාර්තාවන්නේ.

සමූහ දූෂණයට ගොදුරු වූ මාධ්‍යවේදිනිය රෝහල්ගත කරනු ලැබුණ අතර, ඇයගේ තත්වය යහපත් අතට හැරෙමින් ඇති බවත් නිවේදනය කෙරිණ.