ෆොන්ටෙරා සමාගමට එරෙහි වාරණ නියෝගය ඉවතට

23 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 15:33 GMT

ෆොන්ටෙරා සමාගමේ කිරිපිටි නිෂ්පාදන බදා හැරීමට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අධිකරණය විසින් ඉවත් කරනු ලැබූ බව සමාගමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ වෘත්තීය සමිතිය පවසයි.

Fonterra
ඇතැම් නිෂ්පාදනවල ඩීසීඩී විෂ රසායනය අඩංගු බව සමාගම පිළිගෙන තිබේ

කෙසේ නමුත්, සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පරීක්ෂණය දිගටම පවත්වාගෙන යාමට අධිකරණය තීන්දු කළ බව ද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේය.

සිය සමාගමේ ඇතැම් නිෂ්පාදනවල විෂ සහිත ඩීසීඩී රසායනය අඩංගු බව ෆොන්ටෙරා සමාගම පිළිගෙන තිබෙන බව පවසන ඔහු, මැලිබන් සමාගමේ පිටි වර්ගයකද එම රසායනය අඩංගු බව කාර්මික තාක්ෂණික ආයතනය කළ පර්යේෂණයක දී හෙළි වී ඇති බවත් සංදේශය කළ විමසීමක දී කියා සිටියේය.

කෙසේ නමුත් සෑම සමාගමකටම එරෙහිව අධිකරණය ඉදිරියට යාමේ හැකියාවක් තමන්ට නැති බවයි, ඔහු පවසන්නේ.