අම්මා 'දූෂණය කළ' තාත්තා සොයා ගමට ගමනක්

19 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 12:42 GMT

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් අගනුවර දී නෝනා පදනමේ අටවැනි සංවත්සරය සමරුවට සහභාගි වූ නිමල් සහ මා ඉන් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාව බලා පිටත් වූයේ පදනමේ නිර්මාතෘවරයා ගේ ගමේ සංචාරයක යෙදීම පිණිසයි.

ඔහුගේ ගම්මානයේ සංචාරය කිරීම මෙන්ම සිය මව දූෂණය කළ බව ඔහු පවසන පුද්ගලයා හමුවීමත් අපේ සංචාරයේ අරමුණක්.

"මගේ තාත්ත බොහොම නරක මිනිහෙක්. එයා මගේ අම්මට විතරක් නෙවෙයි, මගේ නංගිටත් බොහොම නරක විදියට සැලකුවේ," ඔහු කියා සිටියේ ඩුබායි ගුවන් තොටුපොලේදී හමු වී අප දෙදෙනා එකම යානයේ ගමන් කරමින් සිටියදී.

නිමල් සමන්ත සිය ගමේදී
ගමට ගිය විට ගමේ ඥාති දරුවන් සමග පාපන්දු ක්‍රීඩාවේ යෙදීම නිමල් සමන්තගේ චාරිත්‍රයක්

"මට එයා හමුවෙන්න ඕනේ නෑ. මට එයා එක්ක කථා කරන්න ඕනේ නෑ."

ශ්‍රී ලංකාවට පැමිණ හෝටලයේ විවේක ගනිමින් සිටියදී නිමල් ගේ නැගණිය චාමලී ලක්මාලි අප හමුවීමට පැමිණියාය.

උපන් බිමට පැමිණි වහාම නැගණිය හමුවීම ඔහුගේ ශ්‍රී ලංකා චාරිකාවේ සම්ප්‍රදායයක් බවට පත් වී තිබේ.

කුඩා දරුවන් විලසින්

ඔවුන් දෙදෙනා මීට කලින් කිහිප වතාවක් ම හමුවී තිබුනත්, එකිනෙකා වැළඳ ගනිමින්, දබර කරමින්, යලි වැළඳ ගනිමින් ඔවුන් හැසිරුනේ කිසි දින එකිනෙකා නොදුටු කුඩා දරුවන් දෙදෙනකු මුල් වරට හමු වූ විලසින්.

නව යොවුන් වියේදී පළමු වරට එකිනෙකා මුණ ගැසුණ තරුණ සොහොයුරා සහ සොහොයුරිය සිය අහිමි වූ ළමා වියට පිවිසෙන්නට උත්සාහ දරන හැඩකුයි, ඒ හමුවීම දුටු මට හැඟුණේ.

නිමල් සමන්තගේ මවගේ සොහොන
'අම්මගේ සොහොන ලඟට ගියාම මට දැනෙන්නේ ගෙදර ගියා වගේ හැඟීමක්'

ඉන් පසු දිනම අපි නිමල් සහ නැගණිය සමඟ ඔවුන් උපන් ගම, මතුගම ලත්පඳුර බලා ගමන් ඇරඹීමු.

"හැමදාම වගේ අම්මගේ සොහොන බලන්න යනකොට මට කොහොමත් දුකක් දැනෙනවා," නිමල් සමන්ත කට හඬ අවදි කළේ දුෂ්කර මාර්ගයක් ඔස්සේ වෑන් රථය ඇදෙමින් තිබියදී.

"මම කවදාවත් අම්මව දැකල නෑ. ඒත් අම්මගේ සොහොන ලඟට ගියහම මට දැනෙන්නේ ගෙදර ගියා වගේ හැඟීමක්. අනිත් පැත්තෙන් දැන් කාලයක් තිස්සේ නංගි මේ ගමේ ජීවත් වෙන නිසා ගමට ආවම මට ලොකු සතුටකුත් දැනෙනවා."

ගමට යන අතරවාරයේ චාමලී ලක්මාලිත් අපේ සංවාදයට එක්වූවාය.

"මට අම්මව පොඩ්ඩක්වත් මතක නෑ," ඇය කියා සිටියාය.

චාමලීට යාන්තමින් මාස තුන සපිරෙද්දී අම්මා මෙලොව හැර යාම නිසා ඇය හදා වඩා ගනු ලැබ තිබෙන්නේ ආත්තම්මා විසින්.

සිය මව දහ අට හැවිරිදි වියේදී දූෂණයට ලක්වීම නිසා තමාත්, නිවුන් සොහොයුරු ජූරි සංජීවත් උපත ලැබූ බවටත්, ඉන් අනතුරුව අම්මා දිගටම ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බවටත් නිමල් අයියා කරන ප්‍රකාශය එලෙසින්ම පිලි ගැනීමට නැගණිය එතරම් මනාපයක් නොදක්වන්නීය.

"නෑයෝ කියන විදියට සමහර වෙලාවට ඒ කතාවේ පැති දෙකක් තියෙනවා," ඇය පවසන්නීය.

"සමහරු කියනවා ඒගොල්ල කැමැත්තෙන් එකට හිටිය කියල. අම්මගේ අයිය එහෙම කියන විදියට ටිකක් අකමැත්තෙන් කියලත් කියනවා. මට දැනෙන විදියට කැමැත්තෙන් වෙන්න ඇති."

කෙසේ නමුත් නිවුන් දරුවන් ප්‍රසූත කිරීමෙන් අනතුරුව සිය පියා සහ මව අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවට නැගණිය දරන මතයට අයියා එකඟ නැහැ.

-------------------------------------------------------------------------------------------------------------

ඔවුන් දෙදෙනා සමඟ ලත්පඳුර ගම්මානයේදී ඔවුන්ගේ පියා හමු වූ අවස්ථාව මීළඟ කොටසින්