ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'හමුදාව එළව, එළවා පහර දුන්නා'

2 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 14:23 GMT

හේලීස් ව්‍යාපාර සමූහයට අයත් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මගින් පානීය ජලය විස වී ඇති බව පවසමින් එරෙහිව උද්ඝෝෂණය කළ දකුණේ වැසියන් මරා දමන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා උතුරේ යුද්ධයේදී කෙතරම් දරුණු අන්දමින් හැසිරෙන්නට ඇත්දැයි දැන් තමන්ට වැටහෙන බව වැලිවේරිය රතුපස්වල ගම්වාසීහු පවසති.

දාහත් හැවිරිදි තරුණයකු මරා දමමින් සහ තවත් විස්සකට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් ආරක්ෂක හමුදා ගම්වාසීන්ට බ්‍රහස්පතින්දා කළ ප්‍රහාරය ඔවුන් හැඳින්වූයේ, "ම්ලේච්ඡ සහ දුෂ්ට" ක්‍රියාවක් ලෙසින්.

"ම්ලේච්ඡ විදියට, දුෂ්ට විදියට අපේ කොල්ලෝ ටික මැරුව," යනුවෙන් එක් ගම්වැසියෙක් පැවසීය.

සමස්ත ලෝකයම ගරු කරන ජාත්‍යන්තර යුද නීති ප්‍රකාර පාසල්, රෝහල් සහ ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල නොකරන නමුත් ආරක්ෂක හමුදාව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානය තුලටම පැමිණ වෙඩි තැබූ බවට ද ඔවුහු චෝදනා කරති.

'ගමනා ගමනයට බාධා කළා'

හමුදාව කළ වෙඩි තැබීමෙන් වැලිවේරිය කතෝලික දේවස්ථානයට ද හානි සිදු වූ බව පවසන ඔවුහු, ආරක්ෂාව පතා දේවස්තානයට පලා ගිය ජනතාවට පවා පැහැර දුන් බවට හමුදාවට චෝදනා කරති.

"රණවිරුවෝ නෙවෙයි ආවේ මග මරුවෝ. රණවිරුවෝ ඔය වගේ දේවල් කරන්නේ නෑ," යනුවෙන් එක් ගම්වැසියෙක් පැවසීය.

කෙසේ නමුත් තමන්ට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන ආරක්ෂක හමුදාව, තත්වය නොදැන කරන ප්‍රකාශ ලෙසිනුයි, එම චෝදනා විග්‍රහ කරන්නේ.

පෙට්‍රල් බෝම්බ අතින් ගෙන සංවිධානාත්මක ලෙස නුවර කොළඹ මහා මාර්ගයේ ගමනා ගමනයට බාධා කළ පිරිසක් පළවා හැරීමට සිදු වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට පැවසීය.

අවටින් කඩා ගත් පොළු මුගුරු ගෙන උද්ඝෝෂකයන්ට පහර දුන් බවට එල්ල වන චෝදනා ගැන විමසූ විට ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවයි බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ.