මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පැමිණිලි නෑ - කොමසාරිස්

30 ජූලි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 12:05 GMT

Mahinda Deshapriya
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කරන්නේ ජනමාධ්‍ය පමණක් බව කොමසාරිස්වරයා පවසයි

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි තමන්ට ලැබෙන්නේ ජනමාධ්‍ය මගින් පමණක් බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නිරීක්ෂණ සංවිධාන වල නියෝජිතයන් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයන් ගෙන් සමන්විත ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන තුරු තමන්ට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කොට නැති බවයි, ඔහු පවසන්නේ.

මේ තත්වය හේතුවෙන් ජනමාධ්‍ය පවසන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි තත්වයක් උදාවී ඇති බව ද කොමසාරිස්වරයා සංදේශයට කියා සිටියේය.

'යුද හමුදාවෙන් තර්ජන'

"අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් නොවීම. එසේ ඉදිරිපත් වුවහොත් අපට සෘජුවම පොලිස්පති තුමාට දැනුම් දී මේ ගැන කටයුතු කරන්න පුළුවන්," ඔහු පැවසීය.

තම අපේක්ෂකයන්ට යුද හමුදාවෙන් තර්ජන එල්ල වන බවට දෙමළ ජාතික සන්ධානය කරන චෝදනා සම්බන්ධයෙන් ද තමන්ට පැමිණිල්ලක් ලැබී නැති බව සංදේශය කළ විමසීමක දී කොමසාරිස්වරයා කියා සිටියේය.

"ඒකත් අපට වාර්තා කරලා නැහැ. අපිට පැමිණිලි කළොත් අපිට ඒ ගැන ක්‍රියාකළ හැකියි, බොහෝ පැමිණිලි ලැබෙන්නේ මාධ්‍යවලින් විතරයි."

සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ නිරීක්ෂණය කිරීම පිණිස පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයන් ළඟදීම දිවයිනට ළඟාවීමට නියමිත බව ද කොමසාරිස්වරයා කියා සිටියේය.

ආසියානු සංගමය නියෝජනය කරමින් සහ දකුණු ආසියානු කලාපයෙන් ද විදේශීය නිරීක්ෂකයන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි, ඔහු පවසන්නේ.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් යුද හමුදාව මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලෙන බවට එක්සත් ජාතික පක්ෂය කරන චෝදනා පිළිබඳව ආරක්ෂක ලේකම් වරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දැයි සංදේශය කළ විමසුමකට පිළිතුරු දෙමින් කොමසාරිස්වරයා කියා සිටියේ, ආරක්ෂක හමුදා නිශ්චිත ස්ථානයක දේශපාලන කටයුතුවල යෙදුන බවට තමන්ට පැමිණිලි ලැබී නොමැති බවයි.

නිශ්චිත පැමිණිල්ලක් තමන්ට ලැබෙන තෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තමන්ට හැකියාවක් නැති බවයි, ඔහු තවදුරටත් පැවසුවේ.

මේ අතර මාතලේ නාවුල ප්‍රදේශයේදී ඉරිදා රාත්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමට සම්බන්ධ වාහන අතර ඉඩම් අමාත්‍යංශයට අයත් වාහන ද තිබෙන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ගේ පුත්‍රයා වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පළාත් සභා මන්ත්‍රීවරයා ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් එම වාහන යොදවා ඇති බවයි, කැෆේ සංවිධානය පවසන්නේ.