නායකත්වය පීඩනයක් නොවේ - ඇන්ජලෝ මැතිව්ස්

3 ජූලි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:52 GMT

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කරනු ලැබීම තමන්ගේ පිති හරඹයට බාධාවක් වී නැති බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

Sri Lanka cricket team
'කණ්ඩායමට අවශ්‍ය දේ කිරීම තමයි මගේ පරමාර්ථය. මගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව මට කිසිම වැදගත් කමක් නෑ'

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක් දින කණ්ඩායම්වල නායකයා ඒ බව පැවසුවේ අඟහරුවාදා ජැමෙයිකාවේ පැවැත්වුණු එක් දින තරඟයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත් කර දීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

පසුගිය එක් දින තරඟ තුනේ දීම තමන් අර්ධ ශතක රැස් කළ බව පැවසූ ඔහු, කෙසේ නමුත් හය වැනි හෝ හත් වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන තමන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව නොලැබීම තමන් ලකුණු අතර නැති බවට එල්ල වන විවේචනයට හේතුව විය හැකි බව සඳහන් කළේය.

"කණ්ඩායමට අවශ්‍ය දේ කිරීම තමයි මගේ පරමාර්ථය. මගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව මට කිසිම වැදගත් කමක් නෑ," යනුවෙන් ද ඇන්ජලෝ මැතිව්ස් සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දැක්වූ දස්කම් සමඟම බටහිර ඉන්දීය කොදෙවු දූපත්වල පැවැත්වෙන තුන් කොන් තරඟාවලිය ජය ගැනීමට හැකි වනු ඇතැයි ද කණ්ඩායමේ නායකයා විශ්වාසය පළ කළේය.

නොදැවී ලකුණු 174 ක් රැස් කරමින් දස්කම් දැක්වූ උපුල් තරංගට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවනු ඇති බව නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බලාපොරොත්තුවයි.

මෙතෙක් කලක් පන්දු යවන්නන් කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම ඉටු කළ නමුත් පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ මෙහෙය ඉටු නොවූ බව පැවසූ නායක මැතිව්ස්, පිතිකරුවන් ද සිය කාර්ය භාරය ඉටුකිරීමත් සමඟම කණ්ඩායමේ අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු පළ කළේය.