ඩොල්ෆින් මසුන් සමග කල්පිටිය මුහුදේ සංචාරයක්

26 ජුනි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:23 GMT

කල්පිටිය සංචාරක කලාපයක් බවට ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟම ඇතැම් ධීවර තරුණයෝ සංචාරක කර්මාන්තය සිය ජීවනෝපාය ලෙස තෝරාගෙන සිටිති.

විශේෂයෙන්ම සංචාරකයන්ට ඩොල්ෆින් සහ තල්මසුන් පෙන්වීම පිණිස බෝට්ටු චාරිකා සංවිධානය කිරීම වර්තමානයේ ඔවුන්ගේ ප්‍රධානම ජීවනෝපායයයි.

Dophins in Kalpitiya sea

තමන්ගේ සංචාරවලින් සියයට අනූවකදී පමණම ඩොල්ෆින් මසුන් දක්නට ලැබෙන බවයි, මා ගමන් කළ යාත්‍රාවේ කපිතාන් වර්ණකුලසූරියගේ රාජු මා සමඟ කියා සිටියේ.

එදින තල්මසුන් ද ඈත දියඹේ සිටින බව දැනගන්නට ලැබුනත් තල්මසුන් නැරඹීමට අපට අවස්ථාව ලැබුනේ නැහැ.

ජල ජීවී මධ්‍යස්තාන වලදී ඩොල්ෆින් මසුන් දැක තිබුණත් ජීවිතයේ පළමු වතාවට නිදහසේ මුහුදේ පිහිණන ඩොල්ෆින් සිය ගණනක් සමඟ යාත්‍රා කළ අවස්ථාව මා මතකයෙන් සදා නොමැකෙන මොහොතක්.

යාත්‍රාවේ කපිතාන් රාජු
තමන්ගේ සංචාරවලින් 90% කදී පමණම ඩොල්ෆින් මසුන් දක්නට ලැබෙන බව යාත්‍රාවේ කපිතාන් රාජු පවසයි

"ඩොල්ෆින්ල එක්ක ගත කරන මොහොතක් මොහොතක් පාසා අපේ මානසිකත්වය හොඳ පැත්තට හැරෙනවා. තරහ යන්නේ නෑ," රාජු පවසයි.

කෙසේ නමුත් කල්පිටියවාසී සියලුම ධීවර තරුණයන් සිය පරම්පරාගත රැකියාව අත් හැරීමේ තත්ත්වයක් මතු වී නැති බව ද ඔහු පැවසීය.

"ධීවර කර්මාන්තයෙන් ලොකු මුදලක් අපි අතට ගන්නවා. ඒක ක්‍රමානුකූලව පරිහරණය කරන්න අවබෝධය නැතිකම නිසා තමයි ධීවරයෝ හැමදාම දුප්පත් විදියට ඉන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

කෙලවල්ලන් කොටු කිරීම පිණිස තහනම් දැල් භාවිත කිරීම හේතුවෙන් පසුගියදා ඩොල්ෆින් මසුන් විශාල ප්‍රමාණයක් මියයාම සම්බන්ධයෙන් වගකීම සිය සහෝදර ධීවරයන් භාර ගත යුතු බව ද ඔහු කියා සිටියේය.