කල්පිටිය මුහුදේ 'දූපත් දහතුනම විකුණලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 26 ඉරිදා - 13:38 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

කල්පිටියට ඔබ්බෙන් පිහිටි බත්තලන් ගුණ්ඩුව, පල්ලියවත්ත ඇතුළු දූපත් 13ම දැනටමත් විදේශිකයන්ට විකුණා දමා ඇති බව පවසන දූපත්වාසීහු සිය පාරම්පරික නිජබිම හැර දමා නොයන බව සපථ කරති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

කල්පිටියට ඔබ්බෙන් පිහිටි බත්තලන් ගුණ්ඩුව, පල්ලියවත්ත ඇතුළු දූපත් දහතුනම දැනටමත් විදේශිකයන්ට විකුණා දමා ඇති බව පවසන දූපත්වාසීහු සිය පාරම්පරික නිජබිම හැර දමා නොයන බව සපථ කරති.

ඩෙජ්වේ හෙවත් උච්චිමුනි දූපතේ ධීවර සමිතියේ නායක ගීත් සුමිත් ශ්‍රී ලංකා ආණ්ඩුවට එම චෝදනාව එල්ල කළේ මා පසුගියදා කල්පිටිය දූපත් සමූහයේ සංචාරය කළ අවස්ථාවේදී.

Fishermen's huts in Dedegeway island

"කාට හරි අසනීපයක් වුනොත් සමහර වෙලාවට බෝට්ටුවත් නෑ, ගොඩට යන්න වාහනේකුත් නෑ. ඒ නිසා ඩිස්පෙන්සරියක් හරි දොස්තර කෙනෙක් හරි අනිවාර්යයෙන් අවශ්‍යයි"

"මේ ඔක්කොමත් විකුණලා තියෙන්නේ දැනටම. දැනටමත් ඇවිල්ල ප්‍රශ්න කරනවා. දැන් අපි ෆාදර්ල එක්ක තමයි මේකට විරුද්ධව සටන් කරමින් ඉන්නේ," ඔහු පවසයි.

"ඒ කාලේ ඉඳල ලංකාවේ හිටපු මිනිස්සුන්ට අයිතියක් නෑ මේ ලංකාව."

වසර තුන්සියයකට ආසන්න කාලයක් මුළුල්ලේ සිය මුතුන් මිත්තන් මෙම දූපත්වල වාසය කොට තිබෙන බව පවසන ගීත් සුමිත්, දැනට වසර විස්සකට ආසන්න කාලයක සිට මෙම දූපත් ඉඩම් සඳහා ඔප්පු ලබා ගැනීමට උත්සාහ දරන නමුත් ඒ කිසිදු උත්සාහයක් ඵල දරා නැති බවද මා සමඟ කියා සිටියේය.

"මේ ඔක්කොම අක්කර 460 ක් ද කොහෙද මෙහෙ ඉඳල කන්දකුලි යනකම් විකුණලා තියෙන්නේ දැන් හෝටල්වලට."

"මැරුනොත් මෙහෙම මැරෙනවා අපිට වෙන පලාත්වල ගිහිල්ල වැඩක් නෑ," ඔහු වැඩිදුරටත් පැවසීය.

ධීවර පවුල් 350-400 කට පමණ සෙවන දෙන ඩෙජ්වේ දූපතේ ඇතැම් ස්ථානවල පළල වෙරළ තීරුව පමණයි.

2000 කට ආසන්න දූපත්වාසීන් වෙනුවෙන් එක් පාසලක් තිබෙන නමුත් වෛද්‍යවරයෙක් හෝ රෝහලක් නොමැතිවීම ප්‍රධානම අඩුපාඩුවක්.

Fishermen leader Geeth Sumith with the BBC's Saroj Pathirana

"අසනීපයක් වුනොත් පැය දෙකක් විතර බෝට්ටුවේ කල්පිටියට යන්න වෙනවා. එක පාරක් මගේ යාලුවෙක් එක්ක ගෙන යනකොට මගේ උකුල උඩම නැතිවුනා"

දූපතේ එක් කොනක සිට අනෙක් කොන දක්වා කිලෝමීටර 15 ගමන් කිරීමට ඔවුන්ට තිබෙන එකම ප්‍රවාහන මාර්ගය බෝට්ටුව.

"අසනීපයක් වුනොත් පැය දෙකක් විතර බෝට්ටුවේ කල්පිටියට යන්න වෙනවා. එක පාරක් මගේ යාලුවෙක් එක්ක ගෙන යනකොට මගේ උකුල උඩම නැතිවුනා," යනුවෙන් පවසද්දී තරුණ ධීවර නායකගේ මුහුණේ ශෝකය හෝ සන්තාපය සටහන් වූ බවක් මා දුටුවේ නැහැ.

අප සංවාදයේ යෙදී සිටියදී මුහුදු යන්නට සැරසී සිටි ලක්ෂ්මන් කටහඬ අවදි කළේ ඔහුගේ ජීවිතයට බලපාන ප්‍රධානම ප්‍රශ්නයක් ගැන ආණ්ඩුවේ අවධානය පල කිරීම පිණිස.

"කාට හරි අසනීපයක් වුනොත් සමහර වෙලාවට බෝට්ටුවත් නෑ, ගොඩට යන්න වාහනේකුත් නෑ. ඒ නිසා ඩිස්පෙන්සරියක් හරි දොස්තර කෙනෙක් හරි අනිවාර්යයෙන් අවශ්‍යයි," ඔහු පැවසීය.

දූපත්වාසීන් සියලුදෙනාම සිංහල ජාතිකයන් වන නමුත් ඔවුන් සියලු දෙනාම දෙමළ භාෂාවෙන් කථා බහ කිරීම ගැන විශ්මය පත්වූ මම ඒ ගැන ගීත් සුමිත් විමසීමි.

"ඔක්කොමල සිංහල ඒත් සමහර කට්ටියට සිංහල කතා කරන්න බෑ. දෙමළම කථා කරලා හුරුවෙලා."

(පුත්තලම සංදේශය වාර්තාකරු ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න ද කල්පිටිය දූපත් සමූහයේ සංචාරය සඳහා සමඟ එක්විය.)

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.