බලු කූඩුවේ කෑම කන්නට බලකෙරුණු නිර්මලාගේ දිනපොතෙන්

10 මැයි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 16:48 GMT

"මම නොකළ වරදකට මට හැඟර් එකකින් ගහල කන්න නොදී බල්ල සමඟ කූඩුවට දාල වහල තිබ්බ. රෑට බල්ලා සමඟ කන්න කියල බල්ලාගේ පිඟානට බත් දීල රෑ නෝනලා දොරවල් වහල නිදාගත්තා," වෙන්නප්පුවේ දුම්මලදෙනියවාසී දහ නම හැවිරිදි නිර්මලා ලක්ෂ්මී ඒකනායක සිය ළමා විය පිළිබඳව දිනපොතක පිටු දෙකක් පුරා ලස්සන අත් අකුරින් ලියා තිබුණ සටහනක් ඒ.

දෙමාපියන් අහිමි නිර්මලා රැක බලා ගැනීම දුෂ්කර වූ නිසාම ඇයට යාන්තමින් පස්වැනි විය පිරෙද්දී ආත්තම්මා ඇය නුවර ප්‍රදේශයේ පවුලකට භාර දෙන්නීය. එම නිවසේ සිට ඇය පාසල් ගිය නමුත් දෙමාපියන් අහිමි මේ කුඩා දැරියට එහිදී විඳින්නට සිදුවූ ගැහැට නිමක් නැහැ.

"මම එහෙ ඉන්න බෑ කියල පහේ ශිෂ්‍යත්වය ලියන්න කලින් දවසේ සිල් මෑණි කෙනෙක් එක්ක පැනල ගියා. මම පොලීසියට ගියාම පොලිස් මාමල මම කිරි අම්මට භාර දුන්න. කිරි අම්ම මාව බලාගන්න බැරි නිසා ළමා නිවාසෙකට ඇතුල් කළා," යනුවෙනුත් ඇගේ දිනපොතේ සටහන්ව තිබිණ.

Nirmala with her husband and mother in law
සැමියා සමන් ප්‍රියදර්ශන සහ නැන්දණිය ඩබ් එම් මාලනී සමඟ දැන් ප්‍රීතිමත් යුග දිවියක් ගෙවන බව නිර්මලා පවසන්නීය

පුරුෂයන් සිවු දෙනකුට දාව දියණියන් සිවු දෙනකු බිහි කරන ඇගේ අම්මා ඒ දියණියන් සියලු දෙනාම අත්හැර දැමීම නිසා ඔවුන් හදා වඩා ගැනීම භාර වෙන්නේ කිරි අම්මා ලෙසින් නිර්මලා හඳුන්වන ආත්තම්මාට.

උපන්දා සිට දෙමාපිය සෙනෙහස අහිමිවීම නිසාම ළමා විය ගැන සුන්දර මතකයන් නැති බව නිර්මලා මා සමඟ පැවසුවේ ඒ පවුලට උපකාර කරන පුණ්‍යායතනයක පිරිසක් සමඟ පසුගියදා ඇගේ නිවසට ගිය අවස්ථාවේදී.

"මම ඉපදුන දා සිට අම්මා කෙනෙකුගේ ආදරය සහ සෙනෙහස නොලබපු කෙනෙකි. මගේ පිහිටට සිටියේ මගේ ආදර අක්කා සහ කිරි අම්මා පමණි. ඉපදුන දා සිට මවු කිරි නොබීපු මට කිරි අම්මා මට පිටි කිරි දී උස මහත් කර මේ ලෝකෙට හැදූ මගේ කිරි අම්මාට මම ගොඩක් ආදරෙයි," දිනපොතේ ඇය තබා තිබූ සටහන කියවද්දී මාත් කඳුළු නවතාගත්තේ ඉතා අසීරුවෙන්.

නෝනා පදනම

සුරතල් ළමා වියේදීම ළමා වියට අහිමි කරනු ලැබූ දරුවන්ට උපකාර කිරීමට කැපවී සිටින නෙදර්ලන්තය පදනම් කරගත් නෝනා පදනමේ (Nona Foundation) පිරිසක් සමඟයි මා පසුගියදා ඇගේ නිවහනට ගොඩ වැදුනේ.

Nirmala with Nimal Samantha of Nona Foundation
ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට උපකාරයක් වශයෙන් නෝනා පදනමේ සභාපති නිමල් සමන්ත ඇයට මුදලක් ප්‍රදානය කළේය

නිර්මලාට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට උපකාරයක් වශයෙන් නෝනා පදනමේ සභාපති නිමල් සමන්ත ඇයට මුදලක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව සිය සිහින් කටහඬ අවදි කළ ඇය, සිය ජීවිත කථාව සැකෙවින් අප හමුවේ තැබුවාය.

"මම අවුරුදු දහයේ ඉඳන් ඒ ළමා නිවාසේ ඉඳල පාසල් ගිහින් ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ මැහුම් ගෙතුම් සංගීතය නැටුම් හා පරිගණකය ඉගෙන ගත්ත. ළමා නිවාසෙන් අවුරුදු 18 දී මාව විවාහ කර දුන්නා."

ළමා වියේ පටන් දස හැවිරිදි විය දක්වාම අම්මා නොදුටු ඇය, පරිවාස භාරයෙන් නිදහස් ලෝකයට පැමිණ තවමත් අවුරුද්දක් වත් ගත වී නැහැ.

මා ඇය සමඟ සංවාදයේ යෙදී සිටියදී ඒ දෙස බලා සිටි ඇගේ නැන්දම්මා ඩබ් එම් මාලනී කටහඬ අවදි කළේ අනපේක්ෂිත ලෙසින්.

නිර්මලා දිනපොතේ තබා තිබූ සටහන ගැන මතක් කරමින් ඇයගේ ස්වාමිපුරුෂයා, සමන් ප්‍රියදර්ශනගේ මව, එක්වරම හඬන්නට පටන් ගත්තාය.

ඒ සටහන කියවන මෙන් මා කළ ඉල්ලීමට නිර්මලා එකඟ වූයේ නැහැ.

අම්මා හමුවීම

"විවාහ වෙන්න පෙර මගේ හිතේ තිබුන බලාපොරොත්තුව වී තිබුනේ සිල් මෑණි කෙනෙක් වෙන්නයි. මගේ අම්මව නොදැකපු මවු කිරි නොබීපු මම වගේ අසරණ කාලකන්නි ජීවිතයක් ගෙවපු මට රත්තරන් කිරි අම්මා පිහිට වුනා. කිරි අම්මත් නැති අක්කත් නැති මම කවද හරිම දවසක තනිවෙයි කියල මම හිතුවේ නෑ. නමුත් මගේ ආදරණීය කිරි අම්මව සදහට මගෙන් දෙවියන් උදුරාගෙන ගියා," මම දිනපොත කියවන්නට වීමි.

Nirmala Eknayake with Saroj Pathirana
"අම්ම මාව හොරෙන් එයා ගාවට ගෙනිච්චා. ඊට පස්සේ දවස් දෙකකින් ආයෙම මහ පාරට දාල ගියා"

"මම සදහටම මේ ලෝකේ තනිවී ඇති බව තනියෙන් සිටින හැම මොහොතකම මට මගේ කිරි අම්මව මතක් වෙනවා. කිරි අම්මේ ඔයාට මම ගොඩක් ආදරෙයි. මම ඉපදුන දා සිට දුටුවේ මගේ කිරි අම්මා සහ අක්කලා දෙන්න පමණි."

යාන්තම් දස වැනි විය සපිරෙද්දී ජීවිතයේ ප්‍රථම වතාවට සිය මව දුටු අවස්ථාව ද නිර්මලාට තවමත් මතකයි.

"අම්ම මාව හොරෙන් එයා ගාවට ගෙනිච්චා. ඊට පස්සේ දවස් දෙකකින් ආයෙම මහ පාරට දාල ගියා. මම කිරි අම්මව හොයාගෙන ගෙදර ගියා. කිරි අම්මට මම කිවුව අම්ම මාව හොරෙන් අරන් ගියා කියල. පස්සේ මාව කිරි අම්මා ඉගෙන ගන්න ළමා නිවාසෙට දැම්ම."

ළමා නිවාසයේදී නිර්මලා දැක තිබුන අසල්වැසි තරුණයෙකු වන සමන් ප්‍රියදර්ශන ඇය සමඟ අතිනත ගැනීමේ කැමැත්ත ළමා නිවාස බලධාරීන්ට දැනුම් දීමට අනතුරුව පසුගිය ජුනි මාසයේදී ඔවුහු දෙදෙනා යුග දිවියට එළඹුනහ.

"නැවත කවදාවත් මෙවැනි පුංචි කාලයක් මට හමු නොවේවායි මගේ එකම ප්‍රාර්ථනාව. මෙය, කියවන සෑම කෙනෙකුටම මගේ ජීවිත කතාව තේරුම් ගැනීම සඳහා පමණි. වැරදි කිසිවක් හොයන්න එපා. මම ඒ තරම්ම අසරණයි."