අනුර හෑගොඩ

5 මැයි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 11:45 GMT

කතුවර හා සම්මානලාභී නාට්‍ය නිෂ්පාදක අනුර හෑගොඩගේ තේරීම රාජ්‍ය සම්මාන දිනූ ලේඛිකා කුසුම් දිසානායකගේ 'සත් රටක කෙටිකතා'.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා උගන්නා සමයේයි, අනුර හෑගොඩයන් සිය මුල්ම කාව්‍ය සංග්‍රහය 'දේවෝ වස්සතු කාලේන' මුද්‍රණයෙන් එළි දැක්වූයේ. ඒ අවධියේම නාට්‍ය වේදිකාවට ගොඩවූ ඔහුගේ රංගාවතරණය සයිමන් නවගත්තේගමයන් ගේ ‘ගංගාවක්, සපත්තු කබලක් සහ මරණයක්’. 1997 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන හතක්ම දිනාගත්තේ බන්දුල විතානගේ අධ්‍යක්ෂණයෙන් අනුර හෑගොඩ නිෂ්පාදනය කළ 'රෝමය ගිනිගනී'. තුන් දශකයකට ආසන්න කාලයක් ලන්ඩනය සිය වාස භූමිය කොටගත් අනුර බ්‍රිතාන්‍යයේත් ලංකාවේත් පළ වන පුවත් පත් කීපයකම සිංහල හා ඉංග්‍රීසි තීරු ලිපි රචකයෙක් මෙන්ම 'ලන්ඩන් කවි' බ්‍රිතාන්‍යයේ මුල්ම සිංහල පද්‍ය සඟරාවේ සංස්කාරක වරයායි. බීබීසී විකාශන මැදිරියට නීතිවේදී අනුර හෑගොඩයන් පැමිණියේ තර්ස්ටන් මහා විද්‍යාලයේ සිය ඇදුරු තුමිය කුසුම් දිසානායක අතින් 2012 දී සිංහලට නැගුණු 'සත් රටක කෙටිකතා' පොතත් රැගෙන.

කුසුම් දිසානායක

විදේශීය කෘති ගණනාවක පරිවර්තිකා කුසුම් දිසානායක කෙටි කතා, පද්‍ය, ජනශ්‍රැති, යොවුන් සාහිත්‍ය හා ළමා සාහිත්‍ය කෘති කීපයකම කතුවරියයි. ඉන්දීය ගත් කතුවර චමන් නාහල් ගේ 'ආzසාදි' නවකතාව සිංහලට නැගීම වෙනුවෙන් 1995 දීත් ආදිවාසී දඹානේ ගුණවර්ධනයන් ගේ දඩ බිමෙන් දඩ බිමට ඉංග්‍රීසියට පෙරලීම උදෙසා 1997 දීත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ගත්තේ කුසුම් දිසානායක.