දෙමළ රැඳවියන්ට තවමත් වධ දෙන බවට හමුදාවට චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 12 අඟහරුවාදා - 14:38 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මේ දක්වාම දෙමළ රැඳවියන් දූෂණයට ලක් කරමින් වධ බන්ධන පමුණුවන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය ආරක්ෂක හමුදාවලට චෝදනා කරද්දී, එම චෝදනා සම්පූර්ණ 'ප්‍රලාපයන්' බව හමුදාව පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

"ඒ මිනිස්සු මාව කාමරේකට දාල සපත්තුවලින් මට ගහන්න පටන් ගත්ත. උන් මගේ ඇඳුම් ගැලෙවුව. ඊට පස්සේ හෙළුවෙන් මගේ ෆොටෝ ගත්ත. පෙට්‍රල්වලින් පොඟවල තිබුණු පොලිතීන් කවරෙකින් මගේ ඔලුව වැහුවා. ඊට පස්සේ මට සිහිය නැතිවුනා."

Tamil tigers

ආරක්ෂක හමුදා මේ දක්වාමත් දෙමළ රැඳවියන් දූෂණයට ලක් කරමින් වධ බන්ධන පමුණුවන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරයි

ශ්‍රී ලංකා හමුදා අත් අඩංගුවට පත්වීමෙන් අනතුරුව තමන්ට වධ බන්ධන පමුණුවා දූෂණය කරන ලද බව පවසන ඇය දැන් විදේශගතව සිටින ලාංකීය දෙමළ කාන්තාවක්.

එල්ටීටීඊ යට එරෙහි යුද්ධය සමයේ පමණක් නොව මේ දක්වාමත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා දෙමළ රැඳවියන් දූෂණයට ලක් කරමින් වධ බන්ධන පමුණුවන බවට චෝදනා කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් පසුගියදා නිකුත් කරන ලද සවිස්තර වාර්තාවකයි, එම කාන්තාව මුහුණ දුන් ශෝචනීය අත්දැකීම සඳහන් වෙන්නේ.

"මම නැගිටලා බලන කොට මම හිටියේ කරුවල කාමරේක. එදා රෑ දෙන්නෙක් මගේ කාමරේට ආව. ඇවිල්ල මට ලිංගික වධ හිංසා කළා. මාව දූෂණය කළා.
ඊට දවසකට දෙකකට විතර පස්සේ උන් ආයෙත් ඇවිත් මගෙන් ප්‍රශ්න කරන්න ඕන බව කිවුව. ආයෙත් මාව දූෂණය කළා. මාව සිගරට් වලින් පිච්චුව.
මගේ කකුල් දෙකයි, පස්ස පැත්තයි."

'සම්පූර්ණ ප්‍රලාපයන්'

එසේ වධ බන්ධනවලට ලක්වූ බව පවසන කාන්තාවන් සහ පුරුෂයන් 75 දෙනකුගේ සාක්ෂි ඇසුරින් "අපි උඹට උගන්නන්නම්" මැයෙන් යුත් වාර්තාව සකස් කරන ලද බවයි, හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ.

"පසුගිය දවස්වල බෝට්ටුවල නැගී ආදී විවිධ ආකාරවලින් ලංකාවෙන් පිටව යන්න කටයුතු කළ අය ඒ ඒ රටවල්වලට ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලීම සඳහා විවිධ මත පළ කරනව. මේ එවන් මත පළ කිරීමක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනව "

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය

ඔවුන්ගේ සාක්ෂි පිළිබඳව කිසියම්ම හෝ සැකයක් තිබුනේ නම් එම සාක්ෂි මෙම වාර්තාවට ඇතුලත් නොකරන බව මානව හිමිකම් සංවිධානයේ ලන්ඩන් ශාඛාවේ අධ්‍යක්ෂ ඩේවිඩ් මෙපැම් සංදේශයට කියා සිටියේය.

වාර්තාව පිළිබඳව කරුණු දක්වන නීති සහ ප්‍රතිපත්ති පිලිබඳ සංවිධානයේ උපදේශක ජේම්ස් රොස් පවසන්නේ මේ බොහෝ සිදුවීම් අතර සමානතාවයක් දක්නට ලැබෙන බවයි.

"මේ හුඟාක් දෙනා ගෙදර ඉන්න අතරේ, සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් ඇවිල්ල ඔවුන්ව පැහැරගෙන ගිහිල්ල තියෙනවා. ඒත් අන්තිමට ඒ ඇවිල්ල තියෙන්නේ ආරක්ෂක හමුදා සාමාජිකයෝ බව පැහැදිලි වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ව ඇස් බැඳලා රහසිගත ස්ථානවලට අරගෙන ගිහිල්ල ප්‍රශ්න කරලා තිබෙන," බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා බලධාරීහු ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති.

වාර්තාව පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අවධාරණය කරන්නේ මෙම චෝදනාවල ඇත්ත නැත්ත හොඳින් සොයා බලා වාර්තාව ඉදිරිපත් කිරීමේ වගකීමක් මානව හිමිකම සංවිධානයට තිබෙන බවයි.

දේශපාලන රැකවරණ ඉල්ලීම

"ප්‍රථමයෙන්ම මම දන්නේ නෑ මේ 75 දෙනා කවුද කියන එක. මම ඒවා සාක්ෂි හැටියට පිළිගන්නෙත් නැහැ," බව පවසන බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය වැඩිදුරත් කියා සිටියේ, "ඔබ දන්නවා පසුගිය දවස්වල බෝට්ටුවල නැගී ආදී විවිධ ආකාරවලින් ලංකාවෙන් පිටව යන්න කටයුතු කළ අය ඒ ඒ රටවල්වලට ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලීම සඳහා විවිධ මත පළ කරනව. මේ එවන් මත පළ කිරීමක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන," බවයි.

Sri Lanka security forces

හියුමන් රයිට්ස් වොච් සංවිධානය වෛද්‍ය වාර්තා ඇතුළු සියලු වාර්තා තමන්ට ඉදිරිපත් කරන්නේ නම් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව බලධාරීහු පවසති

දේශපාලන රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප වී යලි සියරට පිටත් කෙරන දෙමළ ජාතිකයන් යලිත් වරක් වධ බන්ධනවලට ලක් කෙරෙන බව මානව හිමිකම් සංවිධානවල චෝදනාවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් පවසන්නේ එවැනි සිදුවීම් පිළිබඳව තමන්ට සාක්ෂි ලැබී නැති බවයි.

කෙසේ නමුත් විශේෂයෙන්ම නිල වශයෙන් පවත්වාගෙන යන රැඳවුම් කඳවුරුවලදී පමණක් නොව රහසිගත කඳවුරුවලදී ලිංගික දූෂණයට ලක්ව තිබෙන්නේ කාන්තාවන් පමණක් නොවන බව අවධාරණය කිරීම "අපි උඹට උගන්නන්නම්" වාර්තාවේ විශේෂත්වයක්.

"මට වධ දීල මාව දූෂණය කළේ සිවිල් ඇඳුම් ඇඳගෙන හිටපු මිනිහෙක්. දවස් තුනක් තිස්සේ මාව දූෂණය කළා," යනුවෙන් පවසන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් විසින් වධ බන්ධනවලට ලක් කරන ලද බව පවසන පුරුෂයෙක්.

කෙසේ නමුත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ මේ සියලු චෝදනා මානව හිමිකම් සංවිධානයේ ප්‍රලාපයන් බවයි.

"අපිට හියුමන් රයිට්ස් වොච් සංවිධානයට කරන්න තියන ඉල්ලීම කරුණාකරලා ඔය වාර්තා ඉදිරිපත් කරන්න එතකොට පිට ඒ ගැන පරීක්ෂණයක කරන්න පුළුවන්," බවයි, බ්‍රිගේඩියර් වනිගසූරිය සංදේශයට කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.