මාලිංගට වගේම 'ජනමාධ්‍යවලටත් වගකීමක් තියෙනවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 8 සිකුරාදා - 12:26 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට බැන වැදීම හැසිරීම කිසිසේත්ම අනුමත නොකරන නමුත් එය පදනම් කරගෙන දිගින් දිගටම ඔහුට පහර ගැසීමට ජනමාධ්‍ය දරන උත්සාහය ද අනුමත කළ නොහැකි බව විශ්ලේෂකයෝ පවසති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් තැබීම පිළිබඳව මතුව තිබූ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් "ඇයි මාව දැකල නැද්ද? වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න" යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.

Lasith Malinga (R) with former captain Jayawardene (photo Saroj Pathirana)

විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයාගේ මේ හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව පාලක මණ්ඩලය නිවේදනය කොට තිබේ

එම හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, විශේෂයෙන්ම එවැනි ක්‍රීඩකයකු ජාතික කණ්ඩායමේ උප නායක පදවියට පත් කිරීමේදී පාලක මණ්ඩලය ද දෙවරක් සිතා බැලිය යුතුව තිබූ බව බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයාගේ මේ හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව පාලක මණ්ඩලය නිවේදනය කොට තිබේ.

කෙසේ නමුත් මෙහිදී දෙපාර්ශවයම නිවැරදි නොවන බව පවසන ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා, මාලිංගගේ හැසිරීම කිසිසේත්ම අනුමත නොකරන නමුත් මේ සිදුවීම පදනම් කරගෙන දිගින් දිගටම ඔහුට පහර ගැසීමට ජනමාධ්‍ය දරන උත්සාහය ද අනුමත කළ නොහැකි බව සංදේශයට පැවසීය.

ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු

මේ අතර ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තිලාන් සමරවීර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

එම තීරණයට හේතු විමසීම සඳහා තිලාන් සමරවීර ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවූ අතර, බොහෝවිට මේ වසරේ යලිත් ටෙස්ට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබීම හමුවේ 36 හැවිරිදි සමරවීර එම තීන්දුව ගන්නට ඇති බවයි, චන්නක ද සිල්වා පවසන්නේ.

මාධ්‍යවේදීන් ඉදිරියේ ලසිත් මාලිංගගේ මතභේදයට ලක්වූ හැසිරීමට මෙන්ම තිලාන් සමරවීරගේ විශ්‍රාම ගැනීමටද තුඩු දුන් ආසන්නම හේතුව ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්බන්ධයෙන් පැන නැගුනු ගැටලුවක්.

විශේෂයෙන්ම ජාත්‍යන්තර පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලෝක කුසලාන වැනි තරඟාවලීන්හිදී ක්‍රීඩකයන්ගේ ඡායාරූප යොදාගනිමින් කෙරෙන ප්‍රචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදලින් සියයට 25 ක් ක්‍රීඩකයන්ට ගෙවීම 2003 සිට මෙතෙක් පැවති සම්ප්‍රදායයි.

එම ගෙවීම නතර කිරීමට පාලක මණ්ඩලය ගත තීරණයයි මතභේදයට තුඩු දී තිබුණේ.

ක්‍රීඩාවේ අනාගත දියුණුව පිළිබඳව සලකා බලා තීන්දු ගැනීම වගකීමක් ක්‍රීඩකයන්ට ද තිබෙන නමුත්, නවීන පන්නයේ ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකරමින් කරන ලද නාස්තිය පාලක මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට ප්‍රධානම හේතුව බව අර්ජුන රණතුංග පවසයි.

එහෙත් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

වැටුප් සම්බන්ධ මතභේදයේදීත් දෙපාර්ශවයම ඉදිරිපත් කරන කරුණු විමසිල්ලට ලක් කළ යුතු බව පවසන චන්නක ද සිල්වා විශේෂයෙන්ම අලුත් කොන්ත්රාත්තුවට අනුව ඇතැම් ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ 120 ත් 150 ත් අතර මුදලක් අහිමි වන බැවින් ක්‍රීඩකයන් එයට විරෝධය පළ කිරීම සාධාරණ බව පෙන්වා දෙයි.

ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත්තුවලට අත්සන් තැබූ නමුත් ක්‍රීඩක වැටුප් සම්බන්ධ ප්‍රශ්නයට දිගු කාලීන විසඳුමක් ලැබී නැති හැඩකුයි මේ අනුව පෙනී යන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.