ක්‍රිකට් ක්‍රීඩාව පුරා 'දූෂණය පැතිරිලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 23 සිකුරාදා - 12:44 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ක්‍රිකට් ක්‍රීඩාව පුරා පැතිරී ගොස් තිබෙන දූෂණය වැළැක්වීමේ පියවරක් වශයෙන් තමන්ගේ සියලු බැංකු ගිණුම් විස්තර ලබා දෙන මෙන් ක්‍රීඩකයන්ට නියෝග කළ හැකි බව සම්මාන ලාභී ක්‍රීඩා වාර්තාකරුවෙක් පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ක්‍රිකට් ක්‍රීඩාව පුරා පැතිරී ගොස් තිබෙන දූෂණය වැළැක්වීමේ පියවරක් වශයෙන් තමන්ගේ සියලු බැංකු ගිණුම් විස්තර ලබා දෙන මෙන් ක්‍රීඩකයන්ට නියෝග කළ හැකි බව සම්මාන ලාභී ක්‍රීඩා වාර්තාකරුවෙක් පවසයි.

ක්‍රීඩා ලේඛක එඩ් හෝකින්ස් ඒ බව පවසන්නේ සිය නවතම කෘතිය බුකී ගැම්බ්ලර් ෆික්සර් ස්පයි (Bookie Gambler Fixer Spy) එලි දැක්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

Cricket

'විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන පෙලේ රටවල සියල්ලේම වගේ තවමත් ක්‍රීඩා කරන සහ හිටපු ක්‍රීඩකයන්ගේ නම් එතන තියෙනව'

"ඩුබායි වගේ රටවල තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිණුම්වලට ලැබෙන මුදල් වගේ ඔවුන්ගේ සියලුම ගිණුම් සහ ඒ ගිණුම්වල තියෙන මුදල් හෙළි කරන්න කියල නියෝගයක් කලොත් සමහර විට ඒකත් මේ දූෂණ වලක්වන්න උපකාරී වෙන්න ඉඩ තියෙනවා," ඔහු පැවසීය.

දූෂණයට වැට බැඳීම සඳහා එය ඉතා කාලෝචිත යෝජනාවක් බව ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතානගේ ද අදහසයි.

කෙසේ නමුත් ඒ පිලිබඳව විමසූ අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශක කොලින් ගිබ්සන් සංදේශයට කියා සිටියේ එවැනි ක්‍රියාමාර්ගයක් මගින් ක්‍රීඩකයන්ගේ සිවිල් නිදහසට වැටබැඳෙන බැවින් එවැනි යෝජනාවක් තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

'ප්‍රචාරක උපක්‍රමයක්'

සමස්ත ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය පුරාම දූෂණය ඉහ වහා ගොස් තිබෙන බව පවසන එඩ් හෝකින්ස්, විශේෂයෙන්ම එංගලන්තයේ ක්‍රීඩා සමාජ තරඟ මෑතදී පටන් ඉන්දියාවේ විකාශණය කිරීම ආරම්භ වීමත් සමඟම ක්‍රීඩා සමාජ අතර තරඟ පවා පාවා දීමේ අවදානමට මුහුණ දෙන බව ද ප්‍රකාශ කරයි.

රහසිගත බැංකු ගිණුම්

"ඩුබායි වගේ රටවල තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිණුම්වලට ලැබෙන මුදල් වගේ ඔවුන්ගේ සියලුම ගිණුම් සහ ඒ ගිණුම්වල තියෙන මුදල් හෙළි කරන්න කියල නියෝගයක් කලොත් සමහර විට ඒකත් මේ දූෂණ වලක්වන්න උපකාරී වෙන්න ඉඩ තියෙනවා"

ක්‍රීඩා ලේඛක එඩ් හෝකින්ස්

"අවුරුදු තුනක් තිස්සේ මම කරපු පර්යේෂණවල ප්‍රතිඵල විදියට මට දැනගන්න ලැබුන තොරතුරු සියල්ල මම ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ දූෂණ මර්ධන ඒකකයට භාර දුන්න. මට දැනගන්න ලැබුන ක්‍රීඩකයන්ගේ නම් පවා එතන තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන පෙලේ රටවල සියල්ලේම වගේ තවමත් ක්‍රීඩා කරන සහ හිටපු ක්‍රීඩකයන්ගේ නම් එතන තියෙනව," ඔහු පැවසීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව සම අනුග්‍රහය දැක්වූ 2011 ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරඟය පාවා දී ඇති බවට තමන්ට තොරතුරු ලැබුන බවත් කතුවරයා සංදේශයට කියා සිටියේය.

ලෝක කුසලානය පුරාම බොහොම මම බුකිකරුවෙක් එක්ක සම්බන්ධතා පැවැත්වුවා. ඇත්තටම ඔහු කියපු බොහෝ දේ ඇත්ත වුනා. ඉන්දියාව සහ පාකිස්තානය අතර ලෝක කුසලාන අවසාන පූර්ව තරඟය ගැනත් ඒ වගේම ඔහු හරියටම අනාවැකියක් කිවුව," එඩ් හෝකින්ස් පැවසීය.

බුකී ගැම්බ්ලර් ෆික්සර් ස්පයි ග්‍රන්ථයේ ඇතුලත් මෙවැනි චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලය පවසන්නේ කතුවරයා ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් දැනටමත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා තිබෙන බවයි.

කෙසේ නමුත් කිසිදු විශ්වසනීය සාක්ෂියකින් තොරව කතුවරයා ඉදිරිපත් කරන සියලු චෝදනා ග්‍රන්ථය විකුණා ගැනීම සඳහා දරන ප්‍රචාරක උපක්‍රමයක් බව ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන ගේ අදහසයි.

2011 මැයි මාසයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කාඩිෆ් නගරයේ පැවැත්වුණු තරඟයද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවා දී ඇති බවට තොරතුරු ලැබුණු බවත් එඩ් හෝකින්ස් පවසන නමුත් එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ තිලකරත්න ඩිල්ශාන් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කොට තිබුණි.

තරඟ පාවාදීම් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට නොහැකි වනු ඇති බව සැබෑ මුත්, එවැනි පාවාදීම්වලට බොහෝවිට සම්බන්ධ වන්නේ ඉන්දීය බුකිකරුවන් බැවින් බුකි කර්මාන්තය නීතිගත කිරීමට ඉන්දියාව පියවර ගත යුතු බවට තර්ක කරන කතුවරයා ඉතා බැරෑරුම් වගකීමක් ඉටුකරන අයිසීසීයේ දූෂණ විරෝධී ඒකකයේ කාර්ය මණ්ඩලය පුළුල් කළ යුතු බව ද සංදේශයට කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.