ක්‍රිකට් බිමේ පෙළහර පාන සුනාමි අනාථයා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 21 ඉරිදා - 14:14 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකා 19 න් පහල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පෙළහර පාන, දෙමාපියන් අහිමි පුලින තරංග යොවුන් ක්‍රීඩකයා සමඟ සංවාදයක්.

තිස් දහසකට අධික මිනිස් ජීවිත බිලිගත් සුනාමි රළ පෙළ 2004 දෙසැම්බරයේ ශ්‍රී ලංකා වෙරළ තීරය විනාශකරමින් ගලා ගිය මොහොතේ, පුලින තරංග අවුරුදු 11 ක කුඩා දරුවෙක්.

තමා මෙලොවට බිහිකළ අම්මා එදා සුනාමි රකුසා විසින් තමන්ගෙන් සදහටම උදුරාගෙන ගොස් තිබූ බව ඒ මොහොතේ පුලින දැන සිටියේ නැහැ.

Pulina Tharanga

අම්මාත්, තාත්තාත් අහිමිව කඩාවැටුණු ජීවිතය යලි ගොඩ නගා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාව ශක්තියක් වූ බව පුලින තරංග පවසයි

ඉන් දින කිහිපයකට පසුව අම්මාට අත් වූ ඉරණම තාත්තා දැනුම් දුන් මොහොතේ, එය තමන්ට පමණක් උරුම වූ ඉරණමක් නොවන බව සිතා වේදනාව දරා ගත්තේ තාත්තාත්, අය්යාත් ළඟ සිටි නිසා බවයි, දැන් 18 හැවිරිදි තරුණයකු වන පුලින මා සමඟ පැවසුවේ.

ඒත් එයින් අවුරුදු තුනකට පසුව දියඹට ගිය තාත්තාත් මුහුදු රකුසා විසින් බිලි ගත් අන්දම විස්තර කරන විට මේ තරුණයාගේ දෑස්වල මා දුටුවේ 18 හැවිරිදි තරුණයකුගේට වඩා මුහුකුරා ගිය යෞවනයකුගේ ස්වභාවයක්.

අද ඔහු අවුරුදු 19 න් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්.

අම්මාත්, තාත්තාත් අහිමිව කඩාවැටුණු ජීවිතය යලි ගොඩ නගා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාව ශක්තියක් වූ බව පවසන ඔහු, එහිදී කුෂිල් ගුණසේකරගේ Foundation of Goodness පුණ්‍යායතනය තමන්ට අතදුන් අන්දම කෘතවේදීව සිහිපත් කළා.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති 19 න් පහල ලෝක කුසලාන තරඟාවලියේදී පුලින තරංග දැක්වූ දස්කම් පිළිබඳව අයිලන්ඩ් ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කිරීමෙන් අනතුරුවයි, විස්සයි විස්ස ජගත් කුසලානය වාර්තා කරන අතරවාරයේ සීනිගම පිහිටි නිවසට ගොස් ඔහු හමුවීමට මා පෙළඹුනේ.

පුලින තරංග මා හමුවේ දිගහල ඔහුගේ අනුවේදනීය ජීවිත කතාවයි, මේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.