රහසිගත හඬ පටය පරීක්ෂා කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් - අයිසීසී ය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 17 සිකුරාදා - 14:04 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සායක් ලෙසින් සැක කෙරෙන රහසිගත සංවාදයක් අඩංගු හඬ පටය පිළිබඳව පරීක්ෂා කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සායක් ලෙසින් සැක කෙරෙන රහසිගත සංවාදයක් අඩංගු හඬ පටය පිළිබඳව පරීක්ෂා කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

කෙසේ වුවත් තමන්ට ලබා දී තිබෙන හඬ පටය සම්බන්ධයෙන් දූෂණ විරෝධී සහ ආරක්ෂාව පිලිබඳ ඒකකය විසින් පවත්වන පරීක්ෂණ පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි බව ද අයිසීසී ය පවසයි.

අයිසීසී යේ මාධ්‍ය සහ සන්නිවේදන අංශ ප්‍රධානී කොලින් ගිබ්සන් ඒ බව පැවසුවේ කිසියම් පිරිසක් විසින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමට දරූ උත්සාහයක් ලෙසින් සැක කෙරෙන සාකච්ඡාවක් අඩංගු බව පැවසෙන රහසිගතව පටිගත කරන ලද හඬ පටයක් සම්බන්ධයෙන් බීබීසී සංදේශය ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේ. බීබීසී සංදේශයට ද එම හඬ පටයේ පිටපතක් ලැබී තිබේ.

SLPL

'කෙටියෙන් කිවුවොත් පහුගිය දින කිහිපය තුල සිදුවෙච්ච දේ ඓතිහාසිකයි කියල මට කියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ තරඟාවලියට බොහෝම හොඳ අනාගතයක් තියේවි'

"ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය පැවැත්වෙන කාලය තුල අයිසීසීය එහි දූෂණ විරෝධී සේවාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට ලබා දෙන නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය යටතේ එවැනි කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ සහ අවශ්‍ය වුවහොත් දඬුවම් කිරීමේ අවසාන වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට සහ එහි අදාළ නිලධාරීන්ට ය. අවශ්‍ය වූ විටෙක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට සහ එහි අදාළ නිලධාරීන්ට අපි සහාය දෙන්නෙමු," බව කොලින් ගිබ්සන් විසින් බීබීසී සංදේශය ට එවන ලද ඊමේල් පණිවුඩයේ සඳහන් වේ.

අදාළ හඬ පටයේ, හින්දි භාෂාවෙන් සහ ඉංග්‍රීසියෙන් වරින් වර කෙරෙන කතා බහ හඳුනාගැනීමට ඉතා අසීරු නමුත් එය කිසියම් මුදලකට තරඟ පාවාදීමේ උත්සාහයක් ලෙසින් සැක කෙරෙන බවයි හඬ පටය මුලින්ම ලැබුන ඩේලි මිරර් පත්‍රය පවසන්නේ .

ඉන්දීය කණ්ඩායම සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ පසුගිය වසරේ කල් දැමුණු සමාරම්භක ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟාවලිය මේ වසරේ පැවැත්වෙන්නේත් ඉන්දීය කණ්ඩායමේ සහභාගිත්වයෙන් තොරවයි.

වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත

"ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය පැවැත්වෙන කාලය තුල අයිසීසීය එහි දූෂණ විරෝධී සේවාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට ලබා දෙන නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය යටතේ එවැනි කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ සහ අවශ්‍ය වුවහොත් දඬුවම් කිරීමේ අවසාන වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට සහ එහි අදාළ නිලධාරීන්ට ය. අවශ්‍ය වූ විටෙක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට සහ එහි අදාළ නිලධාරීන්ට අපි සහාය දෙන්නෙමු"

අයිසීසී යේ මාධ්‍ය සහ සන්නිවේදන අංශ ප්‍රධානී කොලින් ගිබ්සන්

ආරම්භයේ පටන්ම මෙය ශ්‍රී ලංකාවට සුවිශේෂී තරඟාවලියක් බවයි, සමාරම්භක ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟාවලිය පිළිබඳව බීබීසී සංදේශය සමඟ සංවාදයකට එක් වූ තරඟාවලියේ සංවිධායක සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් සමාගමේ ප්‍රධානී සන්දීප් බැමර් කියා සිටියේ.

"ක්‍රීඩකයන්ගේ ලොකු උද්යෝගයක් තියෙනවා; දැන් ලංකාවේ මිනිස්සු එක එක පළාත් ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. කෙටියෙන් කිවුවොත් පහුගිය දින කිහිපය තුල සිදුවෙච්ච දේ ඓතිහාසිකයි කියල මට කියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ තරඟාවලියට බොහෝම හොඳ අනාගතයක් තියේවි," සන්දීප් බැමර් ගේ මතයයි.

පළාත් හතක් නියෝජනය කරන කණ්ඩායම් වසර හතකට කුලියට ගැනීම සඳහා ආයෝජකයන් විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 45 ක ට ආසන්න මුදලක් බැගින් ගෙවා තිබෙන අතර ආරම්භයේදී මෙම ආයෝජනයෙන් කණ්ඩායම් හිමිකරුවන්ට මූල්‍ය වාසියක් හිමි නොවූවත්, වසර හත ඇතුලත එහි ප්‍රතිපහල නෙලා ගැනීමට ඔවුන්ට හැකිවනු ඇති බව සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් සමාගමේ ප්‍රධානියාගේ අදහසයි.

එහෙත් තරඟ පාවා දීමේ සාකච්ඡාවක් බව සැක කෙරෙන හඬ පටය මේ තරඟාවලියේදී ක්‍රීඩා තරග විකාශනය කිරීමෙන් පමණක් ව්‍යාපාරිකයන්ට ආදායම් ලබා ගත හැකි ද යන්න ප්‍රශ්න කෙරෙන සිදුවීමක්.

බීබීසී දෙමළ සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් මේ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග කියා සිටියේ ඉදිරි පරීක්ෂණ සඳහා අදාළ හඬ පටය තමන් දැනටමත් අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට භාර දී ඇති බවයි.

සමර්සෙට් සමාගම 'තහවුරු කළේ නෑ'

"කිසියම් චෝදනාවක් තියෙන කොට ඒ චෝදනාව ඇත්තද, ඒ හඬ පටය ඇත්ත එකක්ද වගේ කරුණු මුලින්ම අපි විමසා බලන්න ඕනේ. ඒ චෝදනා විමසා බලා පරීක්ෂන්යේ වාර්තාව අපට හමුවෙන තුරු අපිට ඒ ගැන කතාකරන්න හැකියාවක් නැහැ. නමුත් තරංග පාවාදීම සහ තහනම් උත්තේජක භාවිතාව වැළැක්වීම සඳහා අපි උපරිම ක්‍රියාමාර්ග අරගෙන තිබෙන බව මම කියන්න කැමතියි," නිශාන්ත රණතුංග පැවසීය.

අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලය පවසන ආකාරයේ පරීක්ෂණයක් තමන් විසින් සිදුකරන බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ප්‍රකාශයට පත් කොට නැහැ.

තම කාර්යාලයට පැමිණි සමර්සෙට් එන්ටෙර්ටෙන්මන්ට් වෙන්චර්ස් සමාගමේ ඉන්දීය ජාතික නියෝජිතයෙක් හඬ පටයේ ඇතුලත් වන්නේ තරඟයක් පාවාදීම සම්බන්ධ සාකච්ඡාවක් බව තහවුරු කලේ යයි ද ඩේලි මිරර් පත්‍රය සඳහන් කරයි. එමෙන්ම එහි පටිගත වී තිබෙන කටහඬ සහිත පුද්ගලයා පිළිබඳවත් සමර්සෙට් සමාගමේ නියෝජිතයා සඳහනක් කළ බවත්, එය තමන්ට හඬ පටය දුන් තැනැත්තා කළ චෝදනාව සමඟ ගැලපෙන බවත් පුවත්පත වාර්තා කරයි.

එහෙත් සමර්සෙට් එන්ටෙර්ටෙන්මන්ට් වෙන්චර්ස් සමාගමේ ප්‍රධානී සන්දීප් බැමර් එය ප්‍රතික්ෂේප කරයි.

"කවුරුවත් කිසිම දෙයක් තහවුරු කරලා නෑ. ඕන පත්තරේකට ඕන දෙයක් කියන්න පුළුවන් එත් අපි කිසිම දෙයක් සනාථ කරලා නෑ. අනික මම ඔය කට කතා ගැන කතා කරන්න කැමති නෑ," යන්න ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ සන්දීප් බැමර් පළ කළ ප්‍රතිචාරයයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.