BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

ප්‍රතිසංස්කරණ පෙරට ගෙන යන්න - ජනාධිපති ඔබාමා

2012 නොවැම්බර් 19 - 12:40 GMT
President Obama in Burma

තවත් පුළුල් ප්‍රතිසංස්කරණ පෙරට ගෙන යන මෙන් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා බුරුම පාලනයෙන් ඉල්ලා සිටියේය.

ඔහු එම ඉල්ලීම කළේ බුරුමයේ කෙටි සංචාරයක නිරත වූ අවස්ථාවේ. ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් බුරුමයේ සංචාරය කල පළමු වතාවයි මේ.

රැන්ගුන් නගරය ඔස්සේ ඇමෙරිකානු නායකයා රැගත් රථ පෙරහැර ගමන් ගනිමින් තිබියදී ඔහුට ශුභ පැතීමට අතිවිශාල ජනකායක් මග දෙපස රැස්ව සිටියහ.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මේ සංචාරයේදී බුරුම ජනාධිපති තේන් සේන් සහ විපක්ෂ නායිකා ඕන්ග් සාන් සුචි සමඟ සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

බුරුම බලධාරීන් විසින් මෙතෙක් ක්‍රියාවට නංවනු ලැබ ඇති ප්‍රතිසංස්කරණ ප්‍රශංසාවට ලක්කළ බරක් ඔබාමා, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට දිගටම ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය දෙන බවටද ප්‍රතිඥාවක් දුන්නේය.

එහෙත් පසුගියදා බටහිර බුරුමයෙන් වාර්තා වුන බෞද්ධ-මුස්ලිම් ආගම්වාදී ගැටුම් වැනි ප්‍රවණතාවයන්ට කිසිදු ඉඩක් දිය නොහැකි බවයි ඇමෙරිකානු නායකයා කියා සිටියේ.

එම ගැටුම්වලට මැදි වුන රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවත් රටේ ජනගහනයට එක්කර ගන්නා මෙන් ඔහු හැඟීම්බර ඉල්ලීමක් ද කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයත් සමඟ දේශපාලන සිරකරුවන් පණහක් නිදහස් කරන ලද බවක් ද වාර්තා විය.

බුරුම යුද හමුදාවේ සහයෝගය ලබන ආණ්ඩුව පසුගිය වසරේ දේශපාලන ප්‍රතිසංස්කරණ ආරම්භවීමත් සමඟ, එවැනි නිදහස් කිරීම් රැසක් සිදු කෙරුන අතර, බුරුමයේ සිරගෙවල් කීපයක රඳවා සිටි සිරකරුවෝ පණස් දෙනෙක් අද නිදහස ලබා පිටව ගියහ.

තවත් දෙසීයක් පමණ දේශපාලන සිරකරුවන් බුරුම සිරගෙවල් තුළ රඳවා ඇති බවයි, මහජන ක්‍රියාධරයන් පවසන්නේ.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter