BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

එතනෝල් චෝදනාව ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා - ඇමති

2013 දෙසැම්බර් 16 - 11:26 GMT

නීති විරෝධී ලෙසින් එතනෝල් කන්ටේනර් දෙකක් ආනයනය කිරීමේ සිදුවීමට තමා සම්බන්ධ බවට කරන චෝදනාව ඔප්පු කරන ලෙස වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරයි.

ශ්‍රී ලංකාවට නීති විරෝධී එතනෝල් ආනයනය කිරීමට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළේය.

එයට තමන් සම්බන්ධ බව ජනතා විමුක්ති පෙරමුණ සනාථ කළ හොත් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පවසන අමාත්‍යවරයා එලෙස සනාථ කළ නොහැකි නම් ජනතා විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීන් ඉල්ලා අස්විය යුතු බවද ප්‍රකාශ කරයි.

'ජාවාරම් පිටුපස ඇමතිවරු'

ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රේගු පරීක්ෂණ වාර්තාවක් පෙන්වමින් ප්‍රකාශ කළේ එතනෝල් ආනයනය කිරීමට සම්බන්ධ පරීක්ෂණ වාර්තාවල අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නම සදහන් වී ඇති බවයි.

"මේකේ සාක්ෂි දෙනකොට එක්කෙනෙක් කියනවා මේකට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධ බවට, තොරතුරු තහවුරු කරලා නැහැ නමුත් සඳහන් වෙලා තියෙනව,"යනුවෙන් ඔහු පැවසීය.

අදාළ එතනෝල් තොගය තම ඥාති රේගු නිලධාරියකු යටතට පත් කරන ලෙස අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ යයි පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට රේගුවේ ඥාතීන් නොමැති බවයි.

කෙසේ නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ සම්බන්ධය හේතුවෙන් අදාළ පරීක්ෂණ යට ගැසීමේ අවදානමක් ඇති බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

"පරීක්ෂණයක් තියෙන්නේ, පරීක්ෂණය අවසාන කරලා චෝදන ඔප්පු කරල නැහැ. නමුත් මොකටද එතනෝල් කන්ටේනර් අල්ලපු වෙලාවේ අරුන්දික මන්ත්‍රීවරයා එතන අයට කථා කරන්නේ?," යනුවෙන්ද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළේය.

ජාතික හෙළ උරුමයද හේරත් මන්ත්‍රීවරයාගේ විවේචනයට ලක් විය.

කුඩු ජාවාරම, එතනෝල්, අරක්කු නිෂ්පාදනාගාර පිටුපස ආණ්ඩුවේ මැති ඇමතිවරු සිටින බව පැවසූ මන්ත්‍රීවරයා, ඔවුන් පාලනය කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නැතැයිද සඳහන් කළේය.

වීඩියෝ දර්ශණ නැරඹීම හෝ හඬපටවලට සවන්දීම සඳහා බීබීසීය ඔබෙන් මුදලක් අයනොකරයි. එහෙත් ඒ සඳහා භාවිතාකරන දත්ත ප්‍රමාණය වෙනුවෙන් ඔබේ දුරකථන සමාගම ඔබෙන් මුදලක් අයකිරීමට ඉඩතිබේ. දත්ත බාගතකිරීම සඳහා අයකරන මුදල ගැන ඔබට නිසි වැටහීමක් නැත්නම්, කරුණාකර ඔබේ දුරකථන සමාගම අමතන්න.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter