BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

වෙඩි වැදුණු සිව් දෙනකු දැඩි සත්කාර ඒකකයේ

2013 අගෝස්තු 3 - 13:09 GMT
Colombo General Hospital

වැලිවේරියේ උද්ඝෝෂණයේ දී වෙඩි වැදී තුවාල ලබා රෝගී තත්වය උත්සන්න වූ කිහිප දෙනකු කොළඹ මහා රෝහලට මාරු කොට යවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

කොළඹ මහා රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ මේ බව තහවුරු කරමින් හතර දෙනකු දැඩි සත් කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසුවේය.

තුවාල ලබා සිටින බොහෝ දෙනකු තරුණ වියේ පසු වන හා උසස් පෙළ විභාගයට සුදානම් වන අය බවයි ගම්පහ මහා රෝහලට ගොස් සුව දුක් සොයා බැලූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ.

බොහෝ දෙනකු ශල්‍යකර්ම වලට භාජන කොට ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

තමන් වැලිවේරිය ප්‍රදේශයට ගොස් ජනතාව හා කථා බස් කළ බවත් පිරිසිදු පානීය ජලය ඉල්ලමින් උද්ඝෝෂණය කළ ජනතාවට එල්ල කළ ම්ලේච්ඡ හා කුරිරු ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ ඛේදවාචකය දෙස පාට දෘෂ්ටිකෝණයකින් බැලීම තමා හෙලා දකින බවයි ඔහු කියා සිටියේ.

ශාරීරික හානි ලබා සිටින පුද්ගලයන්ට රජය වන්දි ලබා දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස තවදුරත් ප්‍රකාශ කළේය.

තමා වැලිවේරිය කතෝලික දේවස්ථානයට ගොස් ඊට සිදු කොට ඇති හානියද සොයා බැලූ බවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter