BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

වැලිවේරියේ ජනතාවට සහය පතා මීගමුවේ උද්ඝෝෂණ

2013 අගෝස්තු 3 - 18:04 GMT
Negombo protest

බලයේ නිරතව සිටිනන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වෙඩි උණ්ඩයෙන් ජීවිත විනාශ කිරීම නොව සාමකාමීව ප්‍රශ්න විසඳා ගෙන ජනතා සුබ සිද්ධිය සැලසීමට ඉදිරිපත්වීම යැයි කිතු දන පුබුදුවේ ප්‍රධානී රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියනම සෙනසුරාදා මීගමුවේ පැවති විරෝධතාවක් අමතමින් කියා සිටියහ.

ජලය ඉල්ලා වැලිවේරියේ උද්ඝෝෂණය කළ ජනතාවට සහ එය වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් පැය දෙකක් පමණ කාලයක් එම විරෝධතාව පැවැත්විණ.

“සාධාරණත්වය වෙනුවෙන් ජාති, ආගම් හා කුල භේද වලින් තොරව පෙනී සිටිමු “ මේ විරෝධතාවේ තේමාව විය.

වැලිවේරියේදී අකිල දිනේෂ්, කටුනායකදී රොෂේන් චානක සහ හලාවතදී ඇන්ටනි ප්‍රනාන්දු යන මේ සියලු දෙනාම ඝාතනය කලේ මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් බවයි විරෝධතාවට එක්ව සිටි සරත් ඉද්දමල්ගොඩ පියතුමා කියා සිටියේ.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු උද්ඝෝෂණයේ දී වෙඩි පහරට ලක්ව මිය ගිය රොෂේන් චානකගේ මවද ඊට එක්ව සිටියාය.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter