BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

වවුනියාව බන්ධනාගාර ගැටුමේ තවත් සිරකරුවෙක් මරුට

2012 අගෝස්තු 8 - 11:32 GMT
වවුනියාව බන්ධනාගාරය

වවුනියාව බන්ධනාගාරයේ ජුනි මස අගදී රජයේ සන්නද්ධ අංශ හා ගැටුණු දේශපාලන සිරකරුවන් අතුරින් තවත් අයෙක් අත්අඩංගුවේ දී මරුමුවට පත් විය.

තිස් හය හැවිරිදි මරියදාස් නවිස් දිල්රුක්ෂන් වවුනියාව බන්ධනාගාරයෙන් ගෙන එනු ලැබ බන්ධනාගාර නිලධාරීන් විසින් රාගම රෝහලට ඇතුල් කරන ලද්දේ ජුලි මස මුලදී.

එතැන් පටන් ඔහු රෝහලේ රඳවා සිටියේ කෘතිම ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කොටයි.

යාපනය පාසෛයූර් හි පදිංචි කරුවකු වූ 36 හැවිරිදි දිල්රුක්ෂන් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2009 ඔක්තෝබරයේදී බව මානව හිමිකම් ක්‍රියාධාරීහු ප්‍රකාශ කරති.

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය ප්‍රකාශ කරන පරිදි ඔහු රඳවා තබා ඇත්තේ නඩු පැවරීමකින් තොරවයි. ඔහු සමග කොළඹට ගෙන එනු ලැබූ තවත් දේශපාලන සිරකරුවකු වන ගනේෂරූබන් නිමලරූබන් ජුලි තුන් වැනිදා රෝහලට ඇතුල් කිරීමේදී මිය ගොස් සිටි බවයි රෝහල් බලධාරීන් බීබීසී යට ප්‍රකාශ කළේ.

රජයේ ආයතනයක් තුල සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් මසක් ඉක්මවා ගොස් තිබියදීත් වරද කරුවන් හට දඬුවම් පැමිණවීමට නොහැකි වීම සම්බන්ධයෙන් රජයට දොස් පවරන දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ සුන්දරම් මහේන්ද්‍රන් පවසන්නේ වවුනියාව, මහර හා අනුරාධපුර යන බන්ධනාගාර තුනේදීම වවුනියාවෙන් ගෙන එනු ලැබූ දේශපාලන සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේත් රජයේ සෙබලුන්ගේත් පහර දීමට ලක්වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඒ. දිසානායක කියා සිටියි.

කොළඹට ගෙනයනු ලැබූ එල් ටී ටී ඊ සැකකරුවකු ආපසු ගෙන එන ලෙස බල කරමින් වවුනියාව සිරගෙදර සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ජුනි මස අගදී ප්‍රහාරයක් දියත් කොට අනුරාධපුර හා මහර බන්ධනාගාර වෙත ගෙන එනු ලැබූ සිරකරුවන් 31 දෙනකු අතුරින් එක් අයෙක් දිල්රුක්ෂන්.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter