BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

ඔලිම්පික් පිලේ නායකත්වයට සුදුස්සා නිලූක - ක්‍රීඩා ඇමති

2012 ජූලි 29 - 12:38 GMT

සරෝජ් පතිරණ

බීබීසී සිංහල සේවය

Minister Mahindananda Aluthgamage

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට නිලූක කරුණාරත්න තෝරාගනු ලැබුවේ ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩකයන්ට ලබා දුන් ලකුණු ප්‍රමාණය අනුව බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔලිම්පික් ආරම්භක උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණ සිටින අමාත්‍යවරයා ඒ බව පැවසුවේ නායකත්වයට වඩාත්ම සුදුස්සා තමන් බව මැරතන් ක්‍රීඩක අනුරාධ කුරේ කරන ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය ඔහුගෙන් විමසූ අවස්ථාවේදී.

"මොකද ඔහු (නිලූක) රටේ දිගටම දෙපාර්තමේන්තුවත් එක්ක අපිත් එක්ක කටයුතු කරපු ක්‍රීඩකයෙක්. දිගින් දිගටම රට වෙනුවෙන් ජයග්‍රහණ ලබපු ක්‍රීඩකයෙක්," ඇමතිවරයා පැවසීය.

කෙසේ වුවත් ඊට කලින් සංදේශයට අදහස් දැක්වූ මැරතන් ක්‍රීඩක කුරේ අවධාරණය කළේ 2004 ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව 30 වැනි දක්ෂතම මැරතන් ක්‍රීඩකයා බවට පත්ව, ඉන් අනතුරුව සාක් කලාපීය රන් පදක්කමක් ද දිනා සිටින තමන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරයාට වඩා රට වෙනුවෙන් ජයග්‍රහණ ලබාදී ඇති බවයි.

දැනට වසර කිහිපයක සිට බ්‍රිතාන්‍යයේ වාසය කරමින් පුහුණුවල යෙදී සිටින ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අනුග්‍රහයක් ලැබුනේ අවසාන මොහොතේ බව මැරතන් ක්‍රීඩකය එල්ල කරන තවත් චෝදනාවක්.

'යල් පැන ගිය' ක්‍රීඩා පණත

"නැහැ ඔහු මගෙන් ඒ අනුග්‍රහය ඉල්ලුවේ අවසාන කාලෙදි මොකද ඔහු මෙහේ (බ්‍රිතාන්‍යයේ) නිසා අපිට සම්බන්ධ වෙන්න බැරිවුනා. ඔහු මට කියපු වෙලාවෙම අපි ඒ අවශ්‍ය මුදල එවුවා," බව ඒ චෝදනාවට අමාත්‍ය අලුත්ගමගේ ගේ ප්‍රතිචාරයයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රවල බරපතල කඩා වැටීමක් තිබෙන බව පිළිගන්නා ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ එබැවින් ලන්ඩන් 2012 උළෙල පිළිබඳව ශ්‍රී ලංකාව කිසිදු බලාපොරොත්තුවක් තබා නැති බවයි.

මෙම කඩා වැටීමෙන් ක්‍රීඩාව බේරා ගැනීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමන් වටහාගෙන තිබෙන බැවින් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කොට දැනටමත් එයට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන බව පවසන ඔහු "යල් පැන ගිය පණතක්" ලෙසින් ඔහු හඳුන්වන 1973 ක්‍රීඩා පණත සංශෝධනය කිරීමටත් නුදුරු අනාගතයේදීම පියවර ගන්නා බව අවධාරණය කළේය.

"දැන් අපි අලුත් රෙගුලාසිත් එක්ක අවුරුදු හතරක් අපි සංගමයකට ඉන්න දෙනවා. එතකොට නැවතත් ජාත්‍යන්තර තරඟවලට යන්න වැටිච්ච ක්‍රීඩාවක් හදා ගන්න පුළුවන්," බව අමාත්‍ය අලුත්ගමගේ පවසයි.

එමෙන්ම ක්‍රීඩාවන් 10 ක් වෙනුවෙන් විදේශීය පුහුණුකරුවන් යොදවා ගැනීම අමාත්‍යවරයා ඉදිරිපත් කරන තවත් විසඳුමක්.

මේ අතර ඔලිම්පික් තරඟවල ආරම්භක දිනය වූ සෙනසුරාදා ඇතැම් ක්‍රීඩා පිටිවල ආසන හිස්ව තිබීම ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයට ලක්ව තිබේ.

ආසන සියල්ල විකිණී ඇති නිසා තමන්ට ටිකට් මිලදී ගැනීමට නොහැකි වූ ක්‍රීඩා ලෝලීන් පවසද්දී මෙසේ ආසන හිස්ව තිබීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි, නිලධාරීන් සඳහන් කරන්නේ.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter