BBC Sinhala

මුල්පිටුව​ > ක්‍රීඩා

පුහුණුකරුවන් යවන්න මම උපදෙස් දුන්නා - ක්‍රීඩා ඇමති

2012 අගෝස්තු 7 - 12:10 GMT

සරෝජ් පතිරණ

බීබීසී සිංහල සේවය

Minister Mahindananda Aluthgamage

ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියට සහභාගි වෙමින් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ඔවුන් ගේ පුහුණුකරුවන් ද පිටත් කරන මෙන් තමන් උපදෙස් දුන් බව ක්‍රීඩා ඇමතිවරයා පවසයි.

එමෙන්ම පුහුණුකරුවෙකු රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා අවසර නො ඉල්ලූ බව ද ඔහු සඳහන් කරයි.

"නිලූක කරුණාරත්නට පුහුණුකරුවෙක් ගෙනියන්න කියල මම දිගටම කිවුව. ඔහු තමයි රොහාන් කියන මහත්මා ගෙනියන්න ඕන කියල ඉල්ලීම කළේ. එකේ වගකීම තනිකර නිලූක ගන්න ඕන," අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.

කරුණාරත්න සහ තිලිනි ජයසිංහ ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් රොහාන් ද සිල්වා සහභාගි වී සිටින අතර, කිසිදු පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලන්ඩන් සංචාරයට එක්වී නැත.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඒ බව පැවසුවේ පුහුණුකරු ලෙසින් සිය පියාටත් ඔලිම්පික් තරඟාවලියට සහභාගි වීමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම බලධාරීන් ප්‍රතික්ෂේප කළ බවට නිලූක කරුණාරත්න කරන චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

'සම්පූර්ණ බොරුවක්'

ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරයා එම චෝදනාව එල්ල කොට තිබුනේ.

ඉන් අනතුරුව ඔහුගේ පියා, ලුවී කරුණාරත්න ට ලන්ඩනයට යාම සඳහා ගුවන් ටිකට්පතට අවශ්‍ය මුදල් අමාත්‍යාංශයෙන් ලබා දුන් බව ද ඇමතිවරයා පවසයි.

"ඒක සම්පූර්ණ බොරුවක්. බැඩ්මින්ටන් සංගමයේ සභාපතිටත් අපි ගෙවුවා," බව එම චෝදනාවට අමාත්‍ය අලුත්ගමගේ පළ කරන ප්‍රතිචාරයයි.

කෙසේ වුවද ඔලිම්පික් උළෙලට නිළ වශයෙන් සහභාගි වන නිලධාරීන්ගේ නම් ලැයිස්තුව සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නිවේදනයේ බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක ගේ නම සඳහන් නොවීය.

"ඒක අපි අනුමත කළේ නෑ ඒක පස්සේ ඔලිම්පික් කමිටුව තමයි ඔහු යවල තියෙන්නේ," බව පවසන අමාත්‍යවරයා පරාක්‍රම බස්නායක ද නිලධාරියෙකු ලෙසින් පසුව කණ්ඩායමට එක්වූ බව පිළිගත්තේය.

නිලූක ගේ ඥාතියෙකුත් ලන්ඩනයට?

ලුවී කරුණාරත්න ගේ ඉල්ලීම මත ඔහුගේ ඥාතියෙකු බව පැවසෙන ජීඩීපී ද සිල්වා නැමැත්තෙකුට ද කණ්ඩායම සමග ලන්ඩනයට යාම සඳහා නිර්දේශ කරමින් වීසා ඉල්ලුම් කළ මුත්, ඔහුට වීසා ප්‍රතික්ෂේප වූ බව බැඩ්මින්ටන් සංගමයේ ලේකම් මේජර් සම්පත් පීරිස් බීබීසී සංදේශය ට පැවසීය. ඒ පිලිබඳ වැඩි විස්තර සොයා බැලීම සඳහා ඉන් අනතුරුව මේජර් පීරිස් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

අමාත්‍යාංශය අනුමත කළ පිරිසට අමතරව තවත් පිරිසක් නිළ වශයෙන් ලන්ඩනයට පිටත් කිරීම සම්බන්ධයෙන් තමන් දැනටමත් ඔලිම්පික් කමිටුවෙන් කරුණු විමසීමක් කොට තිබෙන බවයි, ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍ය අලුත්ගමගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

එමෙන්ම වෙඩි තැබීමේ අංශයෙන් තරඟ වැදුණු මංගල සමරකෝන් ගේ පුහුණුකරු ද ලන්ඩනයට යවන මෙන් තමන් උපදෙස් දුන් නමුත් එවිට ප්‍රමාද වී වැඩි බව ඔලිම්පික් කමිටුවෙන් ලැබුණු ප්‍රතිචාරය බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කිසිදු පුහුණුකරුවෙකු සහභාගි නොවීම පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ තරඟයට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳින් පුහුණු වී තිබෙන බැවින් ඔවුන් සමඟ පුහුණුකරුවන් යැවීමේ අවශ්‍යතාවක් නැති බවයි.

"ඒක මම පිළිගන්නේ නෑ. ඒක වැරදියි. අවසාන මොහොතේ තමන්ගේ පුහුණුකරුවා තමන්ගේ ළඟ ඉන්න ඕන," අමාත්‍ය අලුත්ගමගේ අවධාරණය කරයි.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter