BBC Sinhala

මුල්පිටුව​ > ක්‍රීඩා

පුහුණුකරු ක්‍රීඩකයාට ශක්තියක් - අනුරාධ කුරේ

2012 අගෝස්තු 5 - 12:58 GMT

සරෝජ් පතිරණ

බීබීසී සිංහල සේවය

Anuradha Cooray

ලන්ඩන් ඔලිම්පික් උළෙලට අඩුම තරමින් පුහුණුකරුවන් කිහිප දෙනෙකු හෝ එවීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත්තේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික ශක්තිය වර්ධනය කිරීමට හේතු විය හැකිව තිබූ බව මැරතන් ක්‍රීඩක අනුරාධ කුරේ පවසයි.

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ඔලිම්පික් මැරතන් තරඟය සඳහා පුහුණුවීම්වලින් අනතුරුව අනුරාධ කුරේ ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග කිසිදු පුහුණුකරුවෙකු ලන්ඩනයට නොපැමිණීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නමුත් දැනට වසර කිහිපයක සිට ඔහු වාසය කරන්නේ බ්‍රිතාන්‍යයේ.

ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික පුහුණුකරු නික් ටේලර් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් ඔලිම්පික් ගම්මානයට පැමිණ සිටින එකම පුහුණුකරුවායි.

"පුහුණුකරු තමයි ක්‍රීඩකය මොනවාද කරන්නේ ක්‍රීඩකය මොනවාද කරන්න ඕන කියල දන්නේ. ඒක හින්ද හැම ක්‍රීඩකගේම පුහුණුකරු ඉන්නවා නම් හොඳයි," මැරතන් ක්‍රීඩකයා පැවසීය.

මංගල සමරකෝන්

පසුගිය සිකුරාදා බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ ඉලක්කයට වෙඩි තැබීමේ ඉසවුවෙන් තරඟ වැදුණු මංගල සමරකෝන් කියා සිටියේ, තම ඉල්ලීම පරිදි සිය පුහුණුකරුටත් ලන්ඩනයට පැමිණීමට ශ්‍රී ලංකා බලධාරීන් අවස්තාව සලසා දුන්නේ නම් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාදීමට තමන්ට අවස්ථාව තිබුණු වග. මැරතන් ක්‍රීඩකයා ද එය අනුමත කරයි.

"මම වෙඩි තියන ක්‍රීඩකයෝ එක්ක කතා කරලා තියෙනවා, සමහර වෙලාවට ඒගොල්ල පීඩනයට ලක් වුනාම අර ටාගට්වලට යන්න බැරි වුනහම පුහුණුකරු එලියට අරගෙන උපදෙස් දීල නිවැරදි කිරීමක් කරනවා ඉතින් මම හිතන්නේ ඒ වගේ ක්‍රීඩාවක නම් පුහුණුකරු ඉන්නවා නම් හොඳයි," බව අනුරාධ කුරේ ගේ මතයයි.

සිකුරාදා තරඟයේදී ලකුණු 585 ක් රැස් කළ සමරකෝන් ට හිමිවූයේ 47 වැනි ස්ථානයයි. එය ඔහුගේ උපරිම දක්ෂතාවය වූ ලකුණු 593 ට ළඟාවීමට අපොහොසත් වීමක්.

"මොකද ඒවා විද්‍යානුකූලව යන ක්‍රීඩා දැන්. ඉස්සර වගේ රොබින් හුඩ් ල වෙඩි තියනවා වගේ නෙවෙයි, මම හිතන්නේ ඇත්තටම ඔහුගේ පුහුණුකරු හිටිය නම් ඔහුට ඔයිට වැඩිය දෙයක් කරන්න පුළුවන් කම තිබුනා අනිවාර්යයෙන්ම," බව ද අනුරාධ කුරේ පවසයි.

මේ පිළිබඳව බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ තරඟාවලියට පෙරාතුවම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවක් ලබා ඇති හෙයින් තරඟාවලිය අතරතුරදී පුහුණුවීම අත්‍යවශ්‍ය කටයුත්තක් නොවන බවයි.

"එක පැත්තකින් එක හරි. ඒ වුනාට ක්‍රීඩකයෙක්ගේ මනසත් එක්ක තමයි මේ හැමදේම වෙන්නේ. පුහුණුවීම් කරලා තිබුනට ළඟ ඉඳල අන්තිම මොහොතේ යම්කිසි ධෛර්යමත් කිරීමක් කරන්න පුළුවන් නම් ඇත්තටම මම හිතන්නේ එකෙත් වාසියක් තියනවා," බව හේමසිරි ප්‍රනාන්දු ගේ ඒ අදහසට අනුරාධ කුරේ ගේ ප්‍රතිචාරයයි.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter